කෝවිඩ් එන්නත ලොව දිළිදු රාජ්‍යයන්ට සිහිනයක්ද?
– ක්‍රිෂාන් සිරිවර්ධන –
ලොව පුරා ලක්ෂ 16කට ආසන්න පිරිසක් කෝවිඩ්-19 නිසා මරණයට පත්වී ඇති පසුබිමක, ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කල එන්නත පසුගියදා පළමු වරට බ්‍රිතාන්‍යයේදී 91 හැවිරිදි මාග්‍රට් කීනන් වෙත ලබා දුන්නා. පසුගිය මාස කිහිපය පුරා ඇසුණු කණගාටුදායක පුවත් අතර මෙය සුබදායක පුවතක් වන අතර, බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එන්නත ලබාදීම කොවිඩ් වසංගතයේ අවසානය වෙනුවෙන් තැබූ ආරම්භක පියවරක් බවයි. මොඩනා සමාගමේ එන්නත සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් AstraZeneca සමාගම එක්ව නිපදවූ එන්නත් සඳහා ඉක්මනින් අනුමැතිය ලැබෙනු ඇති බවට වාර්තා පල වී තිබෙනවා.
Image courtesy – BBC
රටවල් කිහිපයක තවත් කෝවිඩ් එන්නත් රාශියක අවසන් අදියරේ සායනික පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. ලෝකයේ දියුණු රටවල් විසින් එන්නත් අතිවිශාල ප්‍රමාණයක් දැනටමත් මිලදී ගෙන ඇති අතර, ඉදිරියේදී මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙනවා. වසර 2021 වන විට තම රටවල සමස්ත ජනගණනයට අවශ්‍ය එන්නත් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු ලෝකයේ ධනවත් රටවල් විසින් සම්පාදනය කර තිබෙනවා. සිය සමස්ත ජනගහණයට පස් වතාවක් ලබාදීමට හැකි තරම් එන්නත් කැනඩාව විසින් මිලදී ගෙන ඇති බවට වාර්තා ඉදිරිපත් වී තිබෙනවා. දකුණු කොරියාව මේ වනවිට සිය ජනගහණයෙන් 88%ක පිරිසකට අවශ්‍ය එන්නත් මිලදී ගෙන තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඩියුක් විද්‍යාලයේ වාර්තාවන්ට අනුව මේ වනවිට එන්නත් බිලියන 6.4ක් පමණ මුදල් ගෙවා වෙන්කගෙන තිබෙන අතර, තවත් බිලියන 3.2ක් මිලදී ගැනීමට සාකච්ජා සිදු කෙරෙමින් පවතිනවා. කෙසේ නමුත් මෙලෙස පූර්ව මිලදී ගැනීම් (advance purchasing) සඳහා හැකියාව තිබෙන්නේ සංවර්ධිත රටවල් අතලොස්සකට පමණයි.
එන්නත් පිලිබඳ සංවාදයේදී ලෝකයේ බොහෝ මාධ්‍ය අවධානය යොමු කරන්නේ සංවර්ධිත රටවල් සිය ජනතාව වෙනුවෙන් එන්නත් ලබාගැනීමට කටයුතු කරන ආකාරය පිළිබඳවයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සැලකෙන මිලියන 100ක් පමණ ජිවත් වන පිලිපීනය තවමත් වෙන්කරගෙන තිබෙන්නේ මිලියන 1.3ක පිරිසකට අවශ්‍ය එන්නත් පමණයි. Peoples Vaccine Alliance ආයතනයට අනුව, ලොව අඩු ආදායම් ලබන වර්ගීකරණයේ සිටින රටවල් 70කට එන්නත් ලබාදීමට හැකිවන්නේ පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක අයකුට පමණයි. මෙම රටවල් අතුරින් කෙන්යාව, මියන්මාරය, නයිජීරියාව, පකිස්තානය හා යුක්රේනය යන රටවල් අතර පමණක් මිලියන 1.5කට ආසන්න ආසාධිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මේ අයුරින් ඉතාමත් සුළු ප්‍රමාණයකට ලබාදීමට හැකිවන්නේ ඔක්ස්ෆර්ඩ් එන්නත සංවර්ධනය වෙමින් පවතින රටවල 64%කට පමණ ලබාදෙන බවට එකඟත්වයක් පවා ප්‍රකාශ කර තිබෙන තත්ත්වයකදී වීම විශේෂත්වයක්. මාධ්‍ය වාර්තාවලට අනුව එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් පමණ ලබාදෙන එන්නතේ එක් මාත්‍රාවක මිල ලංකාවේ මුදලින් රුපියල් 400ක් පමණ වේ.
People’s Vaccine Alliance ආයතනයේ ආචාර්ය මෝගා කමල් යානි ප්‍රකාශ කරන්නේ ඖෂධ සමාගම් විසින් කෝවිඩ් එන්නත් සඳහා අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමට මහජන මුදල් භාවිතා කළද ඔවුන් එන්නත් නිපදවූ පසු එම තාක්ෂණය තමන්ට පමණක් සතු කරගන්නා බවයි. මේ තත්ත්වය නිසා එන්නත පිළිබඳ ඒකාධිකාරයක් සමාගම් කිහිපයක් විසින් හිමිකරගන්නා තත්ත්වයක් උදාවී තිබෙනවා. එනිසා අදාළ තාක්ෂණය හා එන්නත් සම්බන්ධ බුද්ධිමය දේපළ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා විවෘත ක්‍රමවේදයක් ඔස්සේ ලබාදිය යුතු බවට කතිකාවක් මේ වනවිට ඇතිවී තිබෙනවා. එමගින් ඉක්මනින් බිලියන ගණනක් එන්නත් නිෂ්පාදනය කොට ලොව පුරා ජනතාවට ලබාදීමට අවස්ථාව උදා කළ හැකියි. දැනටමත් ඉන්දියාව හා දකුණු අප්‍රිකාව විසින් කෝවිඩ්-19 එන්නත් හා පරීක්ෂණ සිදුකිරීමට අදාළ බුද්ධිමය දේපළ හිමිකම් ඉවත් කරන ලෙස ලෝක වෙළඳ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කැනඩාව හා එක්සත් රාජධානිය ඇතුලු සංවර්ධිත රටවල් කිහිපයක් විසින් එක්ව Convax නමින් ලොව පුරා කෝවිඩ් එන්නත සාධාරණව බෙදාහැරීම සඳහා සාමුහිකයක් පිහිටුවාගෙන තිබෙනවා. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එන්නත් මිලදී ගැනීමට හා නිෂ්පාදනය කිරීමට අපහසු රටවල් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටයි. නමුත් තවමත් ඇමරිකා එක්සත් ජනපදය මේ සඳහා සිය එකඟතාවය පල කර නැහැ. Convax එකමුතුව මගින් 2021 වසර අවසන් වන විට එන්නත් බිලියන 2ක් පමණ ලබාදීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම එන්නත් දිළිදු රටවලට කෙතරම් සාර්ථක වේ ද යන්න ගැටලුවක් බව ගෝලීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා අමන්දා ග්ලාස්මන්ගේ අදහසයි. උදාහරණයක් ලෙස දැනට භාවිතයට ගැනීමට සුදුසු යැයි සැළකෙන එන්නත් ඉතා දැඩි සීත උෂ්ණත්වයක් යටතේ ගබඩා කරගැනීමට අවශ්‍ය අතර එන්නත මාත්‍රා කිහිපයක් ලබාදීමට සිදුවෙනවා. එවන් තත්ත්වයකදී හුදෙක් එන්නත පමණක් දිළිදු රටවලට ලබාදීම ප්‍රමාණවත් වන්නේ නැහැ.
කෝවිඩ් එන්නත සංවර්ධය වෙමින් පවතින රටවලට ලබාගැනීම පිළිබඳ ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන සංවාදය මෙන්ම, එම රටවල් අභ්‍යන්තරයේ ඒ පිළිබඳව පවතින කතිකාව ගැන අවධානය යොමු කිරීමද වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ මේ වනවිට වැඩි අවධානයක් ලබාදී තිබෙන්නේ දේශීය වශයෙන් ලබාදෙන ප්‍රතිකාර පිළිබඳව වන අතර ඒ වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් මැදිහත්විම්ද සිදු කෙරෙනවා. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති ප්‍රමුඛතා ලැයිස්තුවේ අඩු ආදායම් ලබන දිළිදු රාජ්‍යයන් බොහොමයක් සිටින නිසා මැදි ආදායම් ලබන වර්ගීකරණයේ සිටින ශ්‍රී ලංකාවට හුදු ප්‍රධානයක් ලෙස එන්නත් ලැබේ යයි බලාපොරොත්තු තබාගත නොහැකියි. එවැනි තත්ත්වයකදී එන්නත් ලබාගැනීම සඳහා නිසි සැලසුමක් හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම වැදගත්. නමුත් එවැනි පූර්ව සූදානමක් අප තවමත් දකින්නේ නැහැ.
කෝවිඩ් එන්නත පිළිබඳව යම් සාවද්‍ය මත මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන අතර, එමගින් ජනතාව තුළ අනවශ්‍ය සැකයක් ඇතිවීමද වැළක්විය නොහැකියි. මෙරට සිවිල් සංවිධාන හා බලපෑම කණ්ඩායම් පවා එන්නත මෙරට ලබාගැනීම පිළිබඳව සමාජ මතයක් ඇති කිරීමට කටයුතු කරන ආකාරයක් පෙනෙන්නේ නැහැ. මෙවැනි වටපිටාවක විද්‍යාත්මකව සනාථ කරන ලද එන්නත් ලබාගැනීම පිළිබඳ මහජන කතිකාවක් ඇති කිරීම වැදගත්. එසේ අප උනන්දුවක් නොදක්වා වෙනත් විසඳුම් කරා ගියහොත් අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත ලබාදීමට උත්සාහ කරන ජාත්‍යන්තර ආයතන පවා අපෙන් ඈත් වන්නට ඉඩ තිබෙනවා. එන්නත ලබාගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වුවත්, එය විනිවිධභාවයකින් යුක්තව සාධාරණ ක්‍රමවේදයක් ඔස්සේ සිදුකිරීම සෞඛ්‍ය අංශවල හා රජයේ වගකීමක්. එසේ නොවුනහොත් ඒ සඳහා නාස්තිවන මුදල් ගෙවීමට සිදුවන්නේත් දැනටමත් කෝවිඩ් නිසා දැඩි ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් සිටින මෙරට පොදු ජනතාවටයි.
ලෝක ජනගහණයෙන් 14% පමණක් සංවර්ධිත රටවල ජිවත් වන තත්ත්වයකදී අඩු ආදායම් හා මාධ්‍ය ආදායම් ලබන රවටලට එන්නත් ලබාගැනීමට නොහැකිවීම හෝ ප්‍රමාද වීම නිසා ඉදිරියේදී කොවිඩ් වසංගතය ලොව ඇති-නැති පරතරය බරපතල සෞඛ්‍ය ගැටලුවක් ලෙස පැමිණීමට නියමිතයි. එලෙස නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි වසර අවසන්වන විට කෝවිඩ් යනු ලොව දිළිදු රටවල ප්‍රශ්නයක් පමණක් බවට පත්වීම වැළක්විය නොහැකියි.