+ 94 11 2504010
info@cepa.lk

දූෂණයේ ආර්ථික හා සමාජීය පිරිවැය: දූෂණය පිටුදැකීමකින් තොරව ශ්‍රී ලංකාවට පැවතිය හැකිද?

Posted by CEPA Web Admin
September 20, 2024 at 5:56 am

ආචාර්ය එච්.එම්.ගුණතිලක

 හැඳින්වීම

දූෂණය යනු පසුගිය දශක දෙක තුනක කාලය තුළ පුළුල් ලෙස කතාබහට ලක් වූ ගැටලුවකි. චෝදනාවට ලක් වූ පාර්ශ්වයන් විසින් ප්‍රතික්ෂේප කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ පුලුල්ව පැතිර ඇති දූෂණය පිලිබඳ පැහැදිලි සාක්ෂි සපයා ඇත. එම වාර්තාවේ “ආණ්ඩුකරණය සහ දූෂණය පිළිබඳ ගැටළු ජාතික සහ සමාජ යහපැවැත්ම අඩාල කර ඇති” බව දැක්වේ[1].  වර්ෂ 2015 සිදු වූ දේශපාලන වෙනසට දූෂණ විරෝධී හැඟීම් සහ යහපාලනය පිළිබඳ පොරොන්දු දැඩි ලෙස බලපෑවේය. දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට එම ආණ්ඩුව අතිමහත් ලෙස අසමත් වීමෙන් පසුව, දූෂිත ආකාරවලින් මහා පරිමාණ ලෙස ධනය උපයාගත් බවට චෝදනා එල්ල වූ නායකයන් හටම අති විශාල ජනවරමක් යළි ලබා දෙන්නට ජනතාව කටයුතු කළහ. දූෂණයෙන් තොර සාධාරණ සමාජයක් සිය ප්‍රමුඛ ඉල්ලීම්වලින් එකක් කර ගත් වර්ෂ 2022 ඇති වූ ජනතා අරගලය, පැවති ආණ්ඩුවේ බාහිර පෙනුම පමණක් වෙනස් කිරීමට සමත් විය. දූෂණය මැඩලීමට කෙතරම් උත්සාහ කළත් දූෂණය දිගටම පවතින බවට නිදසුනක් ලෙස අදානි සමාගම සමඟ සුළං බලය පිළිබඳව වර්තමාන ආණ්ඩුව විසින් ඇති කර ගත් කුප්‍රකට ගනුදෙනුව[2] පෙන්වා දිය හැකි අතර එය එවැනි චෝදනාවන්ගෙන් එකක් පමණි. ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයක් අබියස සිටින මේ අවස්ථාවේදී දූෂණය අවම නොකර රටට සංවර්ධනයේ ඉදිරියට යා නොහැක්කේ මන්දැයි වටහා ගැනීම මෙරට පශ්චාත් නිදහස් ඉතිහාසයේ මෙම තීරණාත්මක මොහොතේ දී අත්‍යවශ්‍ය වෙයි. මෙම ලිපියේ දූෂණයේ ආර්ථික හා සමාජීය පිරිවැය විමර්ෂණය කිරීමයි.

  1. දූෂණය යනු කුමක්ද?

දූෂණය පිළිබඳව බොහෝ නිර්වචන පවතින අතර, ඒ පිළිබඳ එක් සරල නිර්වචනයක් නම්, දේශපාලන නායකයින් හෝ රාජ්‍ය නිලධාරීන් විසින් තමන් වෙත පැවරී ඇති බලය පුද්ගලික වාසි සඳහා අනිසි ලෙස භාවිතා කිරීමයි. එය යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් විසින් අයථා ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සිදුකරන වංක හෝ සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. දූෂණය විවිධ ආකරවලින් සිදු වන අතර ඊට අල්ලස (bribery), කප්පම් ගැනීම් (extortion), ගජමිතුරුකම් (cronyism), ඥාති සංග්‍රහය (nepotism), පෙදෙසිවාදය (parochialism), අනුග්‍රහය (patronage), බලපෑම් ජාවාරම් (influence), ආබද්ධය (graft), සහ වංචා කිරීම් (embezzlement) ඇතුළත් වේ. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද දූෂණ සිදු වේ. මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද දූෂණයට සම්බන්ධ විය හැකිය. දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ පාර්ශවකරුවන් අතර තනි පුද්ගලයන්, සමාගම් හෝ දේශපාලන පක්ෂයක් වැනි සංවිධාන පැවතිය හැකිය.

දූෂණය මගින් යම් පාර්ශයක් ලබා ගන්නා ‘වාසි’ ඇතැම්විට ‘අයුතු’ හෝ අපැහැදිලි යැයි පහසුවෙන් වර්ග කිරීම අපහසු විය හැකිය. කසේ වෙතත් වාසියක් යනු වාසියකි. නිදසුනක් වශයෙන්, සමහර අධික දූෂිත සමාජවල ජීවත් වන පුද්ගලයන්ට මහජන සෞඛ්‍ය යහෝ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා ගත හැක්කේ ඔවුන් අල්ලස් ගෙවන්නේ නම් පමණි. එනම්, අල්ලස් දෙන්නාට ලැබෙන ‘ප්‍රතිලාභය’ හුදෙක් ඔහුට හෝ ඇයට අයතියක් ලෙස හිමි විය නමුත් අල්ලසක් නොමැතිව සාක්ෂාත් කර ගත නොහැකි අයිතියයි. අල්ලස් ගන්නාගේ ප්‍රතිලාභය නම්, තම රාජකාරිය ලෙස ඉටු කිරීම සඳහා අමතර වාසියක් ලැබීමයි. මෙම ආන්තික තත්ත්වය එතරම් ප්‍රචලිත නොවූවත්, ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පවතින දූෂණ මගින් පැහැදිලි උදාහරණයක් සපයයි. එහිදී, අල්ලස් දීමට හැකි අයට රටේ හොඳම පාසල්වලට තම දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා අනෙක් අයට වඩා වාසියක් ඇති අල්ලස මගින් ලබා දෙයි. එහි ඵලයක් ලෙස, අල්ලස් ගන්නාගේ ක්‍රියාව නිසා පාසල ආසන්නයේ ජීවත් වන අයට නීත්‍යානුකූලව සිය දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට ඇති අවස්ථාව වළක්වයි.

විවිධ දූෂණ වර්ග ඇත. දූෂණය වර්ගීකරණය කිරීම සඳහා ‘මහා’ සහ ‘සුළු’ හෝ ‘පරිපාලන’ දූෂණ ලෙස වර්ග කිරීම ප්‍රයෝජනවත් ක්‍රමයක් වේ. මහා පරිමාණ දූෂණ සාමාන්‍යයෙන් රාජ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ මට්ටම් සහ පුද්ගලික ව්‍යාපාරවල ඉහළ මට්ටම් තුළ සිදු වේ. උදාහරණ ලෙස, සුප්‍රසිද්ධ මහ බැංකු බැඳුම්කර වංචාව සහ පෙර සඳහන් කළ අදානි ගනුදෙනුව මහා දූෂණවලට උදාහරණ වේ. මහා පරිමාණ දූෂණ යනු නීති සම්පාදනය කරන හෝ නීති රීති, ප්‍රතිපත්ති සහ විධායක තීරණ ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු සමාජයේ ප්‍රභූ පුද්ගලයන්ගේ ක්‍රියා වේ. මහා පරිමාණ දූෂණ සිදුවන්නේ විශාල මුදල් මුදල් ප්‍රමාණ සම්බන්ධයෙනි. ඒවා බොහෝ විට දේශපාලන දූෂණ ලෙස හඳුන්වනු ලබන අතර, එවැනි දූෂණවලට දේශපාලන නායකයින්ගේ සෘජු හෝ වක්‍ර මැදිහත්වීමක් පවතී. මහා පරිමාණ දූෂණ විශාල පෞද්ගලික සමාගම්වල ද සිදු විය හැකිය. වාහන නිෂ්පාදකයෙකු වන ෆොල්ක්ස්වාගන් සමාගම විසින් විමෝචනය අඩු කිරීමේ නීති උල්ලංඝනය කිරීම මෙයට හොඳ උදාහරණයක් වේ[3].

සුළු හෝ පරිපාලන දූෂණ යනු රාජ්‍ය ආයතන සහ පුරවැසියන් අතර සම්බන්ධතාවන්හිදී සිදු වන කුඩා පරිමාණ දූෂණයන්ය. මෙම දූෂණය සාමාන්‍යයෙන් නීති රීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී සිදුවන අල්ලස් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස, රාජ්‍ය සේවකයින් සේවාවක් සපයන විට, ආයතනික ගාස්තුවට අමතරව පුද්ගලික ගෙවීමක් ඉල්ලා සිටීම දැක්විය හැකිය. සුළු දූෂණවලට ඕනෑ තරම් උදාහරණ ශ්‍රී ලංකාවේ ඇත. උදාහරණ ලෙස, නිවාස ඉදිකිරීමේ සැලසුම් අනුමත කර ගැනීමට, දැව ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමට, පාසල් සඳහා ඇතුළත් වීමට, පෞද්ගලික බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබා ගැනීමට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමට, විශ්‍රාම වැටුප් ගෙවීමේ ප්‍රමාදය මඟහරවා ගැනීමට අල්ලස් දීම ආදිය සැලකිය හැකිය. සාමාන්‍යයෙන්, මෙවැනි සෑම අවස්ථාවකදීම සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් අල්ලස් ලෙස අතින් අතට මාරු වේ. කෙසේ වෙතත්, සුළු දූෂණය පුළුල්ව පැතිරී ඇති විට, එය බොහෝ අකාර්යක්ෂමතා, මහජන හිරිහැර, සහ විදේශ ආයෝජන පිළිබඳ අපහසුතා ඇති කළ හැකිය. සුලු පරිමාණ දූෂණයේදී ඊට ඇතුළත් වන මුදල් ප්‍රමාණය අඩු විය හැකි වුවද, එය දිළිඳු ජනනාව අසමාන ලෙස අනිටු බලපෑම් එල්ල කළ හැකිය.

  1. දූෂණය මගින් ආර්ථිකයට සිදු කරන බලපෑම

සදාචාරාත්මක හා ආචාරධර්මීය හේතු හැරුණු විට, දූෂණය ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි? සාමාන්‍යයෙන්, දූෂණය ආර්ථික සංවර්ධනය අඩාල කරන අතර රාජ්‍ය ආරක්ෂාව තර්ජනය‌ට ලක් කරයි. එය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ද හෑල්ලූවට ලක් කරයි. සංවර්ධන ක්‍රියාවලියට දූෂණය මගින් ඇති කරන තර්ජනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් පිළිගෙන ඇති අතර ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයට 16 වන ඉලක්කය ඇතුළත් කර ඇත. එම ඉලක්කය මගින් ‘සියලු ආකාරවල දූෂණය සැලකිය යුතු ලෙස අඩු කරන ලෙස’ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

“දූෂණය සංවර්ධනය අඩාල කරන අතර, ඊට ප්‍රතිවිරෝධී වශයෙන්, ඵලදායී දූෂණ විරෝධී ප්‍රයත්නයන් මගින් තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා රටවල ප්‍රගතිය වේගවත් කරයි.  නීතිවිරෝධී ලෙස සම්පත් පිට රටවලට ගලායාම වැළැක්වීම සහ සොරකම් කරන ලද වත්කම් කඩිනමින් ආපසු ලබා ගැනීම මගින් සංවර්ධන කටයුතු සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය”[4].

ඉහත උපුටා දැක්වීම දූෂණය අවම කිරීමේ වැදගත්කම පෙන්නුම් කරයි. එහෙත්, දූෂිත ආකාරයන්ගෙන් ඉපැයූ මුදල් ආර්ථිකය තුළ සංසරණය වන්නේ නම්, දූෂණය රටක ආර්ථික වර්ධනයට අනිසි ලෙස බලපාන්නේ නැති අතර එයින් ඇති වන බලපෑම සම්පත් බෙදා හැරීමේ මට්ටමේ පමණක් විය හැකි බවට ඇතමෙකුට තර්ක කළ හැකිය. සුළු පරිමාණ දූෂණය හරහා ඉපැයෙන මුදල් ආර්ථිකය තුළ සංසරණය විය හැකි නමුත්, මහා පරිමාණ දූෂණයේදී අයථා ලෙස උපයාගත් මුදල් බොහෝ විට රටේ ආර්ථිකයෙන් පිටතට ගලා යයි. පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස් වෙනත් රටවලට මුදල් ගෙන ගිය බවට තහවුරු වූ වාර්තා ඇති අතර ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ඩුබායි, සීෂෙල්ස් සහ උගන්ඩාවේ අයථා ලෙස උපයාගත් මුදල් තැන්පත් කර ඇති ගිණුම් ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්පාදිත ආණ්ඩුකරණ විනිශ්චය වාර්තාව පවසන්නේ, “වත්මන් පාලන විධිවිධාන මඟින් නිල හැසිරීම් සඳහා පැහැදිලි ප්‍රමිතීන් ස්ථාපිත කර නොමැති අතර, නීති උල්ලංඝනය කිරීම් වැලැක්වීම පිණිස ප්‍රමාණවත් සීමා කිරීම් ස්ථාවනය කර නොමැති බවයි. එමෙන්ම, රටින් පිටව ගිය දූෂිත පුද්ගලයන් හෝ දේපොළ පසුපස හඹා යාමට පවතින නීති රාමු මගින් කටුයතු කර නොමැති බවයි. මෙම වාර්තාවෙන් පැහැදිලි වන්නේ මහා පරිමාණ දූෂණ ක්‍රියා මගින් ගසා කෑ ධනයෙන් කොටසක් රටෙන් පිටවී ඇති බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවයි. එවැනි අවස්ථා ආර්ථිකයට අහිතකර වන අතර, රටින් පිටව නොගියේ නම් මෙම සම්පත් ආර්ථික අභිවෘද්ධිය පිණිස ආයෝජනය කිරීමට හෝ සෞඛ්‍ය, අධ්‍යාපනය හෝ පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැය කිරීමට හැකියාවක් තිබෙනු ඇත.

දූෂණයේ ආර්ථික හා සමාජීය බලපෑම් කිහිපයක් පහත කොටසින් සාකච්ඡා කෙරේ.

3.1 මහජන මුදල් වැරදි ව්‍යාපෘතිවලට යෙදවීම

රජයේ හෝ ණයට ගත් අරමුදල් වෙන් කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ ඉහළ සංවර්ධන බලපෑමක් සහ ඉක්මන් ප්‍රතිලාභ සහිත ව්‍යාපෘති සඳහා ය. දේශපාලකයින් අයවැය වෙන් කිරීමට අදාළ වන ආර්ථික මූලධර්ම නොසලකා හරිමින්, රාජ්‍ය වියදම් අනුපිළිවෙල විකෘති කර, විශාල අල්ලස් හෝ කොමිස් වලට තුඩු දෙන ක්‍රියාකාරකම් සඳහා  ප්‍රමුඛත්වය ලබා දෙයි. මහාමාර්ග, විදුලි බලාගාර, වරාය වැනි සමහර විශාල යටිතල පහසුකම් සංවර්ධන සඳහා දූෂිත දේශපාලකයින් දක්වන ඇල්ම පසුපස ඇත්තේ විශාල කොමිස් හෝ පුද්ගලික දේශපාලන වාසි සඳහා ඇති අවස්ථවන්ය. නෙළුම් කුළුණ, මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, රට තුළ ඇති විවිධ අධිවේගී මාර්ග ආදී මෙවැනි වටිනාකමක් නැති ව්‍යාපෘති සඳහා සජීවී උදාහරණ වේ.

මෙම දූෂිත භාවිතවන්හි ඇති බොහෝ අනිටු බලපෑම් අතර, අප දැන් ශ්‍රී ලංකාවේ අත්විඳින ආකාරයේ ණය උගුල්වලට රටවල්වලට මුහුණ දීමට සිදු වීම එකකි. එසේ වීමට හේතුව නම්, ණයට ගත් මුදල් අල්ලස් සහ වෙනත් දේශපාලන සාධකවලට ප්‍රමුඛත්වය දෙමින් මිස තම ආයෝජනවල කාලෝචිතභාවය සහ ප්‍රතිලාභවල විශාලත්වය සලකා බැලීමකින් තොරව හුදු අකාර්යක්ෂම ලෙස වැය කිරීම නිසාය.  එවැනි ආයෝජන එක්කෝ ප්‍රතිලාභ ජනනය නොකරයි, නැතහොත් ප්‍රතිලාභ ජනනය කිරීම ඉතා මන්දගාමී ව සිදු වේ. එබැවින්, මෙම ව්‍යාපෘති මඟින් අපේක්ෂිත බදු ආදායම ණය ගෙවීමට ප්‍රමාණවත් නොවේ. එපමණක් ද නොව, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි සාම්ප්‍රදායික මූල්‍යායතන මගින් අනුගමනය කරනු ලබන තුලන සහ සංවරණ මගහැරීම සඳහා වඩා මිල අධික වාණිජ ණය ගැනීම ණය අර්බුද තවදුරටත් උග්‍ර කරයි. ශ්‍රී ලංකාව අවසානයේ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට තුඩු දුන් වත්මන් ණය අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වඩා මිල අධික වාණිජ මූලාශ්‍රවලින් ණය ගැනීම සහ ණයට ගත් මුදල් මන්දගාමී හෝ ප්‍රතිලාභ රහිත ව්‍යාපෘති සඳහා යෙදවීමේ දූෂිත ක්‍රියාවයි.

3.2 යටිතල පහසුකම් සඳහා අධික වියදම්

මහා පරිමාණ දූෂණය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දැරීමට සිදුවන පිරිවැය ඉහළ දමයි. ව්‍යාපෘතියක මිල වැඩි වීම කොන්ත්‍රාත් සමාගම්, දේශපාලනඥයන් සහ ඉහළ නිලධාරීන් අතර දූෂිත සහයෝගීතාවයන්ට ඉඩ සලසයි, එවිට කොන්ත්‍රාත්කරුවන් අල්ලස් ගෙවීමෙන් පසුව පවා අතිරික්ත ලාභයක් ලබා ගනී. මෙය කොන්ත්‍රාත්කරුවන්ට මෙන්ම දේශපාලඥයන්ට සහ ඉහළ නිලධාරීන්ට ජයග්‍රාහී තත්වයකි. රඹුක්කන සිට ගලගෙදර දක්වා මධ්‍යම අධිවේගී මාර්ග කොටස දූෂණයේ බරපතලකම සහ එහි ආර්ථික ඇඟවුම් මැනවින් පෙන්නුම් කරයි. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අරමුදල් යොදා ගනිමින් රටවල් 15ක අධිවේගී මාර්ග ව්‍යාපෘති 33ක් පිළිබඳව ප්‍රසිද්ධ අවකාශයේ පවතින දත්ත මත පදනම්ව ගණන් බැලූ විට එක් කිලෝමීටරයකට පිරිවැයෙහි සාමාන්‍යය ඩොලර් මිලියන 1.63ක් වූ අතර, ඒවා පරාසය වශයෙන් ඩොලර් මිලියන 0.94 සහ 6.96 කි.  ආසියානු සංවර්ධන ව්‍යාපෘති නියැදියේ සමහර අධිවේගී මාර්ග සඳහා අඩු පිරිවැයක් ඇත්‌තේ ඒ මාර්ග මංතීරු මාර්ග දෙකක් නිසා වේ. අධ්‍යයන කරන ලද නියැදියේ වැඩිම පිරිවැය තිබුණේ ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා වූ අතර මගේ සැසඳීම් එම මාර්ගයේ පිරිවැය මත පදනම් වේ. රඹුක්කන – ගලදෙර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රත් වටිනාකම ඩොලර් මිලියන 1870[5] ක් වූ අතර ඒ අනුව එකී අධිවේගී මාර්ග කොටසේ කිලෝමීටරයකට ඩොලර් මිලියන 93.5 ක් වැය වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට වියදම ඩොලර් මිලියන 6.96 කි. රඹුක්කන – ගලගෙදර මාර්ග කොටස ඊට සාපේක්ෂව 13.4 ගුණයක් මිල අධිකය.  ව්‍යාපාතිය සඳහා ඉදිරිපත් වූ අවම ලංසුව ඩොලර් මිලියන 1050 ක් ලෙස පෙනී යන අතර එය ප්‍රතික්ෂේප වී තිබේ. මෙකී අවම ලංසුව අනුව පවා, කිලෝමීටරයක වියදම ඩොලර් 52.5 කි. මාර්ගය ඉදිරිකිරීම හේතුවෙන් ජනතාව නැවත පදිංචි කිරීමේ පිරිවැයක් හෝ කඳුකර අධිවේගී මාර්ගය සහ උමං මාර්ග වැනි තාක්ෂණික හේතු භාවිතයෙන් මෙම අති විශාල වෙනස පැහැදිලි කළ නොහැක. මේසා විශාල මිල වැඩි වීමකට තාර්කිකව ඉදිරිපත් කළ හැකි පැහැදිළි කිරීම නම් දූෂණයයි.

3.3 ණය සඳහා දැරීමට සිදුවන පිරිවැය ඉහළ යාම

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ වෙනත් ද්විපාර්ශ්වික ආයතන හෝ විදේශ රටවල් වැනි සාම්ප්‍රදායික ප්‍රභවයන්ගෙන් සහනදායී පිරිවැයක් සහිතව ණය ගැනීමේ හැකියාව පසෙකලා, වාණිජ අරමුණු සහිත මූල්‍ය ප්‍රභයන්ගෙන් ණය ලබා ගැනීමට දේශපාලඥයන් සහ බලවත් නිලධාරීන් පෙළඹෙන්නේ එමගින් දූෂණයට වැඩි අවස්ථා විවර කර දීම හේතුවෙනි.  සාම්ප්‍රදායික මූල්‍ය ප්‍රභයයන් මගින් ණය ලබා ගැනීමේදී, ව්‍යාපෘතිවල මූල්‍ය හා ආර්ථික විශ්ලේෂණ සිදු කිරීම සහ දැඩි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ කටයුතු කිරීමට සිදු වන නමුත් වාණිජ බැංකු ණය දීමේදී සලකා බලන්නේ ණය ගන්නා රටේ ණය ගෙවීමේ හැකියාව ගැන පමණි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) සම්බන්ධයෙන් ද මෙය අදාළ වේ. එපමණක් ද නොව, ණය ගන්නා රජය විසින් මුදල් පරිහරණය කරන ආකාරය සොයා බැලීම පිණිස කිසිදු ආකාරයක සම්බන්ධීකරණයක් බැඳුම්කර හිමියන් අතර නොමැත. මෙමගින් ණය ගන්නා රටේ රජයට ණයට ගත් මුදල් දූෂිත ක්‍රියාවන්ට මඟ පාදමින්, කිසිදු ප්‍රතිලාභයක් නැති හෝ අවම ප්‍රතිලාභ සහිත ව්‍යාපෘති සඳහා යෙදවීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදයට සැලකිය යුතු ලෙස දායක වූ, වර්ෂ 2007 සිට ලබා ගත් වාණිජ ණය දූෂණය පෝෂණය කරමින් සාම්ප්‍රදායික ණය දෙන පාර්ශව විසින් ඉතා අඩු පොලී අනුපාත අය කරමින් ලබා දෙන ණය මගහැර ගිය එක් අවස්ථාවකි. නිදසුනක් ලෙස, ජාත්‍යන්තර සිටි බැංකුවෙන් ලබා ගත් එක් වාණිජ ණයක පොලී අනුපාතය 5.5% ක් වූ අතර ඊට වසර පහක ආපසු ගෙවීමේ කාලයක් තිබුණි. එකල ම ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් ණයවල පොලී අනුපාතය 2%කට වඩා අඩු වූ අතර ඊට වසර 5-6ක සහන කාලයක් සහ වසර 20ක ආපසු ගෙවීමේ කාලයක් ද හිමි විය. විශාල සමාජ පිරිවැයක් සහිතව, මෙසේ මිල අධික මූලාශ්‍රයෙන් ණය ගැනීමට ආණ්ඩුවක් දක්වන උනන්දුව පැහැදිලි කළ හැක්කේ, එම ණයට ගත් මුදල් යම් යම් අරමුණු සඳහා යොදවා ඉහළ කොමිස් හෝ යම් දේශපාලන වාසියක් ලබා ගැනීමට දේශපාඥයින්ට සහ ඉහළ නිලධාරීන්ට ඇති අභිලාෂය ඇසුරින් පමණි.

3.4 ගුණාත්මක වශයෙන් දුර්වල යටිතල පහසුකම්

යටිතල පහසුකම්වල ගුණාත්මක භාවය දුර්වල වීම යනු යටිතල පහසුකම් වෙනුවෙන් දැරීමට සිදු වන ඉහළ පිරිවැය ප්‍රකාශයට පත් විය හැකි තවත් ක්‍රමයකි. අල්ලස් ලබා ගැනීමේ අරමුණින්, දේශපාඥයින් සහ ඉහළ නිලධාරීන්, තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියට බලපෑම් කොට අඩු සුදුසුකම් සහිත සමාගම්වලට  කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කටයුතු කිරීම මෙහි එක් පැතිකඩකි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ, ගුණාත්මක වශයෙන් දුර්වල  යටිතල පහසුකම් නිම වීමත්, ඒවා නඩත්තු කිරිම සඳහා විශාල නඩත්තු පිරිවැයක් දරමින් නිරන්තර අලුත්වැඩියා කටයුතු සිදු කිරිමට වීමයි.

3.5 ව්‍යාපෘති දීර්ඝ ලෙස ප්‍රමාද වීම

කොන්ත්‍රාත්කරුවන්ගෙන් තමන්ට පුද්ගලිකව වාසි සහගත ගනුදෙනුවක් ලැබෙන තෙක් ප්‍රසම්පාචන ක්‍රියාවලිය ඇතැම් විට වසර ගණනාවක් ප්‍රමාද කිරීමට දේශපාඥයෝ සහ ඉහළ නිලධාරීහු කටයුතු කරති. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාවේ යෝජිත ගෑස් බලාගාරයේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් දෙදෙනා විසින් සමාගම් දෙකකට අනුග්‍රහය දැක්වීම සහ එකිනෙකා අභිබවා යාමට ප්‍රමාණවත් බලයක් ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුට නොතිබීම නිසා බවට සාධාරණ සැකයක් පවතී. එහි අවසන් ප්‍රතිඵලය වූයේ විදුලි බලාගාරය ඉදිකිරීම ප්‍රමාද වී අධික වියදමක් දරා විදුලිය මිලදී ගැනීමයි. දකුණු ආසියාවේ විදුලි කප්පාදුවෙන් මිදී තිබුණු එකම රට ශ්‍රී ලංකාවයි. එහෙත් වර්ෂ 2022 දී විදුලිය කපා හැරීම් සිදු වන්නේ ලංවිම විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය හේතුවෙනි.  විදුලිය කප්පාදුව ආර්ථිකයේ සෑම අංශයකටම බලපාන අතර එහි අනිටු ප්‍රතිවිපාක අතර සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රවලට සහ කෘෂිකර්මාන්තය  වෙත අත්‍යවශ්‍ය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවේ හැකියාව දුර්වල වීම මූලික වේ.

3.6 හොඳ ව්‍යාපෘති කිසිදා ක්‍රියාත්මක නොවිය හැකිය

අල්ලසට එකඟ නොවීම හේතුවෙන්, යහපත් සංවර්ධන  ප්‍රතිඵල අත් කර දිය හැකි ඇතැම් සංවර්ධන ව්‍යාපෘති කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීමට ඉඩ තිබේ. මෙය බොහෝ විට සිදු වන්නේ, දේශපාඥයින් සහ ප්‍රබල නිලධාරීන් ව්‍යාපෘතියේ ප්‍රමාණයට වඩා විශාල අල්ලසක් ඉල්ලා සිටින විටදීය. නිදසුනක් ලෙස, ඩොලර් මිලියන 100 ක් පමණ වැය වන මාළු සැකසුම් ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා ඉල්ලා ඇති අල්ලස් ඩොලර් මිලියන 50 ක් යැයි අනුමාන කළහොත්, එය සමස්ත ව්‍යාපෘති වියදම 50%කින් ඉහළ යාමත් වන අතර එම ආයෝජනය සිදු කරන සමාගමට ජාත්‍යන්තර වෙළඳපොලේ තරඟකාරී ලෙස මිල නියම කළ නොහැකිය. එවැනි අවස්ථාවක, ශක්‍යතා අධ්‍යයනය සඳහා ඩොලර් මිලියන කිහිපයක් වැය කර ඇති පෞද්ගලික ආයෝජකයන්ට, එම ව්‍යාපෘතිය අතරමග අත්හැර දැමීම හැර වෙනත් විකල්පයක් නැත. එවිට, සැලකිය යුතු රැකියා උත්පාදනය කළ හැකි යහපත් ආයෝජන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව රටට අහිමි වේ.

3.7 විදේශ ආයෝජන අධෛර්යමත් කිරීම

මහා පරිමාණ දූෂණ ක්‍රියා සෘජු විදේශ ආයෝජන (FDI) අධෛර්යමත් වීමට හෝ සම්පූර්ණයෙන් වැළකී යාමට හේතු වෙයි. ගෙවිය යුතු වන අල්ලස් ඉතා විශාල වන විට, පුද්ගලික සමාගම්වලට සාධාරණ ලාභයක් ලබා ගත නොහැකි බැවින් පුද්ගලික ආයෝජකයෝ අධික ලෙස දූෂිත රටවලවල ආයෝජනය කිරීමෙන් වැළකෙති. දියුණු තොරතුරු තාක්‍ෂණයේ ඵලයක් ලෙස ගෝලීය සමබන්ධතා ප්‍රචලිතව ඇති මෙම යුගයේ, දූෂණය පිළිබඳ පුවත් යම් රටක ආයෝජනය කිරීමට විභවයක් සහිත ආයෝජකයන් අතර ඉතා වේගයෙන් පැතිර යයි. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල දූෂණ දර්ශක මඟින් ද පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව එවැනි ඉහළ මට්ටමේ දූෂණයක් ඇති රටක් වශයෙනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපයන ලද පරිපූර්ණ දිරිගැන්වීම් පැකේජයක් තිබියදීත් ශ්‍රී ලංකාව සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වූයේ මන්ද යන්න පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම වටී. ශ්‍රී ලංකාවට ලැබී ඇති සෘජු විදේශ ආයෝජන අඩුවීමට එක් පැහැදිලි හේතුවක් විය හැක්කේ ආයෝජකයින්ට දරාගත නොහැකි විශාල අල්ලස් ගෙවීමට සිදු වීම විය හැකිය. ආධාර දෙන සාම්ප්‍රදායික ආයතන පවා ඉතා දූෂිත රටවල වැඩ කිරීමට පසුබට වෙති. වරක් ජපානයේ JICA ආයතනය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසකට මුදල් යෙදවීම සළකා බැලීය. ජයිකා ආයතනයට අවශ්‍ය වූයේ මෙම ව්‍යාපෘතියේ දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා ඇත්නම් ව්‍යාපෘතිය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට තමන්ට අයිතියක් ඇති බවට ණය ගිවිසුමට වගන්තියක් ඇතුළත් කිරීමටය. එවැනි වගන්තියක් මඟින් රටේ ස්වෛරී අයිතීන් උල්ලංඝණය වන බව පවසමින් රජය ඊට විරුද්ධ විය. මහජන මුදල් ගසා කෑමේ පරමාධිපත්‍ය අයිතියක තරම!!!

3.8 උපයෝගිතා සේවාවන්හි මිල අධික වීම

ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බොහෝ අඩුපාඩු තිබේ. ප්‍රසම්පාදන කමිටුවලින් ගන්නා ලද තීරණ අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලයට බලය පැවරී ඇත. සමාජයට අධික මුදලක් වැය බරක් ඇති වන අන්දමින් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට දේශපාලන නායකයින්ට මෙමගින් ඉඩ සැලසේ. උදාහරණයක් වශයෙන්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ Adani Green Energy සමාගම, එම සමාගම විසින් උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ඉදි කරන ලද සුළං බලාගාර දෙකකින් ඉදිරි වසර 20 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ ඇත. මෙම ව්‍යාපෘතිය මගින් මන්නාරම (මෙගාවොට් 250)  සහ පුනරීන් (මෙගාවොට් 234) වශයෙන් ඇ.ඩො. මිලියන 740ක ආයෝජනයකින් මෙගාවොට් 484ක සුළං බලයක් ස්ථාපනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපතෘතියට එරෙහිව දූෂණ චෝදනා තිබූ අතර අධිකරණ නඩු ගණනාවක් ද විභාග වෙමින් පවතන අතර මන්නාරමේ යෝජිත Adani Green Energy සුළං බල ව්‍යාපෘතිය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර ඇත. Adani Green Energy SL Ltd. (AGESL) විසින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද තොරතුරු මඟින් අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව ප්‍රමාණවත් ලෙස තක්සේරු කර නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත[6]. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ තොරතුරුවලට අනුව, කිලෝ වොට් එකකට ඇ.ඩො. 0.086ක් ගෙවීමට ගිවිසුම් ගත වී තිබුණත්,  නියාමන කොමිෂන් සභාවේ නිර්දේශිත මිල ඇ.ඩො. 0.0588 කි[7]. ලංවිම විසින් ප්‍රකාශ කරන පරිදි දේශීය සමාගම් විසින් ඉදිරිපත් කරන ලද සමහර ලංසු මඟින් කිලෝ වොට් එකකට ඩොලර් 0.0488 ක් ඉල්ලා සිටින ලදී.  අදානි සමාගම සුළං බලය ඉන්දියාවේදී අලෙවි කරන මිල ඇ.ඩො. 0.04 කි[8]. මෙම වසර 20 ක කොන්ත්‍රාත්තුවෙන් වසරකට රුපියල් බිලියන 138 – 189 අතර පාඩුවක් ශ්‍රී ලංකාවට සිදුවේ. වසර 20ක මුළු පාඩුව බිලියන 116 – 158 ක් පමණ වන අතර මෙම පාඩුව මහජනතාව මත පැටවෙනු ඇති අතර අවසානයේ විදුලි පාරිභෝගිකයාට ඉදිරි වසර 20 තුළ මෙම අතිරේක පිරිවැය දැරීමට සිදුවේ.

3.8 ජීවිත අවදානම්

යම් අල්ලසක් ගෙවීමකින් තොරව සෞඛ්‍ය පහසුකම්, පිරිසිදු ජලය සහ ආරක්ෂිත වාසස්ථාන ලබා ගැනීමට මිනිසුන්ට නොහැකි වූ විට, ඔවුන්ගේ ජීවිත අන්තරායට ලක් වේ. බංගලිදේශය වැනි අසල්වැසි දකුණු ආසියාතික රටවල, ගොඩනැගිලි අනුමත කිරීමේදී සිදු වූ දූෂණ හේතුවෙන්, එම ගොඩනගිලි ඉක්මනින් බිඳී වැටීම පිළිබඳ උදාහරණ මෙහිදී සැලකිල්ලට ගත යුතුය. භූමිකම්පාවලට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කළ බවට සහතික කර තිබූ බොහෝ ගොඩනැගිලි නේපාලයේ 2015 දී භූමිකම්පාවේදී කඩා වැටුණි. දූෂණය මිනිසුන්ගේ ජීවිත අවදානමට ලක් කළ ආකාරය සඳහා මේවා හොඳ උදාහරණ සපයයි. ගෝලීය වශයෙන්, අවුරුදු 5 ට අඩු ළමුන්ගේ වාර්ෂික මරණවලින් සියයට 1.6 ක්, එනම්, මරණ 140,000 කට වඩා සංඛ්‍යාවකට යම් තාක් දුරකට හෝ හේතු වී ඇත්තේ  දූෂණය බව පෙන්වා දී තිබේ[9]. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ හා සම්බන්ධ ජීවිත අවදානම් ශ්‍රී ලංකාව තුළ ද මතුවෙමින් තිබේ. සුප්‍රසිද්ධ ඉමියුනොග්ලොබියුලින් පිළිබඳ වංචාව ඊට නිදසුනකි. ගුණාත්මකබවින් අඩු ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සංසරණයට තුඩු දෙන ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම හේතුවෙන්, රෝගීන් තුළ අහිතකර අසාත්මිකතා ජනනය කිරිමටත් එමගින් මරණ ගණනාවක් ඇති වීමත් ශ්‍රී ලංකාව තුළ ද දැන් වර්ධනය වෙමින් එන දූෂණය හේතුවෙන් සිදු වන ජීවිත අවදානම් පිළිබඳ රටාව විද්‍යමාන වේ[10]. පවතින නිසි ප්‍රතිපත්ති මඟහරිමින් ව්‍යාජ ඖෂධ ආනයනය කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දෝෂ සහිත වෛද්‍ය සැපයුම් රට තුළ සංසරණය වීම මගින් ද දූෂණය සහ ජීවිත අවදානම අතර ඇති සම්බන්ධයේ තවත් පැතිකඩක් පිළිබිඹු වෙයි[11].

3.9 මූල්‍ය නොවන වියදම්

දූෂණය මගින් එයින් සිදු වන මූල්‍ය හා ආර්ථික පිරිවැයට වඩා වැඩි හානියක් සිදු වේ. එය මහජන විශ්වාසය හා සමාජයට සහභාගී වීමට පුරවැසියන්ගේ කැමැත්ත අඩු කරයි. නිදසුනක් වශයෙන්, පොදුවේ දේශපාලනඥයන් යනු දූෂිතයන් යැයි ලෙස සලකන පුරවැසියන් මැතිවරණවලදී ඡන්දය දීමට, දේශපාලනයේ නියැලීමට හෝ බදු ගෙවීමට වෙහෙසෙන්නේ නැත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දුරකථන වාර්තා මගින් සිදු කෙරුණු දූෂණය පිළිබඳ හෙළිදරව්ව ශ්‍රී ලංකාවේ මහජනතාව අතර විශාල ආන්දෝලනයට තුඩු දුන්නේය. විදේශ ප්‍රේෂණ හීන වී ඇති මෙම අතිශය දුෂ්කර අවස්ථාවේ, විදේශගත ශ්‍රමිකයන් නිල මාර්ග හරහා මුදල් යැවීම ප්‍රතික්ෂේප කර ඇත (ඊට හේතුව, කළු වෙළඳපොල වඩාත් ලාභදායී වීම සහ රුපියල පාවීමට බලපානුයේ දූෂණය යැයි හැඟී යාමයි). දැනට සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් සංඛ්‍යාවකට සැලකූ විට මසකට ඩොලර් මිලියන 1 හෝ 1.2 අතර ප්‍රේෂණ ලැබිය යුතු විය යුතු නමුත් වත්මන් ප්‍රේෂණ තවමත් පවතින්නේ මසකට ඩොලර් මිලියන 600 ට අඩුවෙනි.

3.10 අසමානතාව වර්ධනය වීම

බොහෝ රටවල දක්නට ලැබෙන පරිදි, දුප්පතුන් දූෂණයෙන් අසමාන ලෙස දුක් විඳිති. රජයේ සේවයකට ප්‍රවේශ වීම සඳහා සුළු අල්ලස් ලබා දීමට සිදු වීම පහළ මධ්‍යම ආදායම්ලාභී පවුල්වල ක්‍රය ශක්තිය බරපතල ලෙස සීමා කරයි. ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය දිළිඳු නොවන අයට පමණක් සීමා වූ විට, දුප්පත් පවුල්වල දරුවන්ට ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට ඇති එකම මාර්ගය වන අධ්‍යාපන අවස්ථා අහිමි වනු ඇත. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අනෙකුත් මූලික සේවාවන් සඳහා ප්‍රවේශය ලබා ගැනීමේදී දූෂණයේ බලපෑම විශාල ලෙස පවතින රටවල ආර්ථික වර්ධනයට එමගින් දිගුකාලීන වශයෙන් අහිතකර බලපෑම් ඇති කළ හැකිය.

3.11. සංවිධානාත්මක අපරාධ පෝෂණය කිරීම

දූෂණය බොහෝ විට සංවිධානාත්මක අපරාධ සමඟ සම්බන්ධ වේ. ගැටුම් සහ යුද්ධ පවතින වාතාවරණ තුළ දූෂණය විශාල ලෙස වර්ධනය වේ. දූෂණය ඉහළ මට්ටමක පැවතීම දිගුකාලීන ගැටුම් වැඩි කිරීමට ඉඩ ඇති අතර, පශ්චාත්-ගැටුම් සමාජයන් නැවත යුද්ධයට තල්ලු කිරීමට ද ඉඩ ඇත. ලොව පුරා පැතිරී ඇති මත්ද්‍රව්‍ය උවදුරට හේතු වී ඇත්තේ, ප්‍රධාන වශයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල නිලධාරීන් සහ දේශපාලන නායකත්වයන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ හවුලේ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

3.12 පාරිසර විනාශය වර්ධනය කිරීම

බලවත් පාර්ශව විසින් හුදු ලාභ ඉපැයීමේ අරමුණින්, අල්ලස් දෙමින් සිය පාරිසරික වගකීම්වලින් මිදීමට කටයුතු කරන බැවින් දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික කළමනාකරණ මූලාරම්භයන් ද අඩපණ කිරීමට දුෂණය බලපායි. එපමණක් නොව, ස්වභාවික සම්පත් වගකීමෙන් කළමණාකරණය කිරීම දූෂණය විසින් අඩාල කරයි. ශ්‍රී ලංකාවේ දැඩි නියාමන ක්‍රියාමාර්ග තිබුණ ද ඒවා නොතකා වන සම්පත ක්ෂය වීම හොඳ උදාහරණයකි.

  1. දූෂණය සහ සමාජ ආරක්ෂණය

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතියට සමෘද්ධි/අස්වසුම වැඩසටහන්, මහජන සෞඛ්‍ය සේවා හරහා නොමිලේ ඖෂධ, ආබාධිත විශ්‍රාම වැටුප්, විශ්‍රාම වැටුප්, සේවා යෝජක අර්ථසාධක අරමුදල (EPF) සේවා යෝජක භාර අරමුදල (ETF), රක්ෂණ ක්‍රම සහ පොහොර සහනාධාරය වැනි විවිධ සහනාධාර ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් ඇතුළත් වේ. මෙම ලිපියේදී සාකච්ඡා කෙරෙන්නේ සමෘද්ධි වැඩසටහන සහ එහි අනුප්‍රාප්තිකය වන අස්වැසුම යන මුදල් ප්‍රතිලාභ වැඩසටහන් දෙක පිළිබඳව පමණි. සමෘද්ධි වැඩසටහන 1995 දී ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින්, ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික වශයෙන් අන්ත්කරණයට සහ ඔවුන්ගේ ආර්ථික දියුණුවට ආධාර කිරීම සඳහා සම්පත් සැපයීම සඳහාය. වැඩසටහනේ උප අරමුණු වූයේ: ආදායම් වැඩි දියුණු කිරීම සහ රැකියා අවස්ථා පුළුල් කිරීම; තරුණයන්, කාන්තාවන් සහ අනෙකුත් අවාසිසහගත ජන කොටස් කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය කිරීම සහ බිම් මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාකාරකම් සහ සංවර්ධන ක්‍රියාවලීන් සඳහා සහභාගී වීමට ඔවුන් දිරිමත් කිරීම; පුද්ගලයන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ඵලදායී රැකියා තුළින් ඔවුන්ගේ වත්කම් පදනම් ශක්තිමත් කර ගැනීමට සහාය වීම; සහ ග්‍රාමීය මට්ටමින් අමතර රැකියා අවස්ථා ඇති කිරීම සඳහා නිෂ්පාදන වත්කම් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම යන ඒවාය. මෙම වැඩසටහන සඳහා වර්ෂ 2004 සහ 2018 අතර රු. බිලියන 275.8 ආයෝජනය කර ඇති අතර එහි වාර්ෂික සාමාන්‍යය රු. බිලියන 17.2 කි. එය 2004 දී පවුල් මිලියන 1.86කට ආධාර කළ අතර 2008 වන විට එම සංඛ්‍යාව මිලියන 1.38 දක්වා අඩු විය[12].

සමෘද්ධි වැඩසටහන පවුල් බොහෝ ගණනකට දරිද්‍රතාවයෙන් මිදීමට උපකාර කර ඇති අතර එමඟින් දුප්පත් නොවන අයගේ සිට දුප්පතුන්ට යම් ධනයක් නැවත බෙදා හැරීමට ඉඩ සලසා දී තිබේ. කෙසේ වෙතත්, එම වැඩසටහනේ බොහෝ දුර්වලතා අතර, ප්‍රධාන දුර්වලතාවය වන්නේ එහි විශාල බහිෂ්කරණ දෝෂයක් සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශාල අන්තර්කරණ දෝෂයක් පැවතීමයි. ලෝක බැංකුව (2012)[13], දරිද්‍රතා විශ්ලේෂණ කේන්දුය (2007)[14] සහ තවත් බොහෝ සංවිධාන මගින් තහවුරු කර ඇත්තේ සමෘද්ධි වැඩසටහනේ සම්පත්වලින් 50%ක් පමණ දිළිඳු නොවන අයට ලබාදී ඇති බැවින්, මෙම වැඩසටහන අකාර්යක්ෂම බවයි. මෙම විශාල බැහැර කිරීමේ දෝෂය නොවැළැක්විය හැකි අත් වැරැද්දක් නොවේ. එය ආණ්ඩු පක්ෂයට සිය ඡන්ද පදනම පවත්වා ගැනීම සඳහා ඔවුන්ට දේශපාලනික වශයෙන් හිතවත් පවුල් ඇතුළත් කර ගැනීමකි. මෙම කරුණ සනාථ කිරීමට ප්රමාණවත් සාක්ෂි තිබේ[15]. සාරාංශයක් ලෙස, මෙය දේශපාලන ව්‍යාපෘතියක් සඳහා බදු මුදල් අවභාවිත කිරීමක් හෙවත් දූෂණ ක්‍රියාවකි. 2004 සහ 2018 අතර බදු ගෙවන්නන්ගේ මුදල්  රු. බිලියන 137.9ක් ආණ්ඩුව විසින් සිය පක්ෂ දේශපාලනය සඳහා අවභාවිත කර තිබේ. ඡන්දදායකයින්ට අල්ලස් දීම වෙනුවට, බැහැර කරන ලද දුප්පතුන්ට ආධාර කරන්නට මෙම සුවිශාල මුදල යෙදවූයේ නම්, මෙම එය වඩාත් ඵලදායී ලෙස භාවිතා කළ හැකිව තිබුණි.

සමෘද්ධි වැඩසටහනේ අනුප්‍රාප්තික වැඩසටහන වන අස්වැසුම 2023 ජූලි මාසයේදී ක්‍රියාත්මක කරන ලැබුවේ ආර්ථික අර්බුදයේදය අතරතුරදී දුප්පතුන්ට උපකාර කිරීම සඳහා ය. Covid-19 වසංගතයේ බලපෑම සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් දරිද්‍රතා ප්‍රතිශතය 4% සිට 30% දක්වා වැඩි විය. අස්වැසුම සමෘද්ධියට වඩා වෙනස් වන්නේ එය පරිභෝජනය දිරිමත් කිරීම පිණිස මුදල් සැපයීමක් වන බැවිනි. සමෘද්ධිය වැඩසටහනට සාපේක්ෂව බැලූ විට දිළිඳුකම පිටුදැකීමේ අංගයක් අස්වැසුම වැඩසහන සුතව නැත. මෙම වැඩසටහනට පවුල් මිලියන දෙකක් ඇතුළත් වන අතර ඔවුන් සංක්‍රාන්ති, අවදානමට ලක්විය හැකි, දිළිඳු සහ උග්‍ර ලෙස දිළිඳු ලෙස වර්ග කර පහත වගුවට අනුව මාසික දීමනා ලබා දීම සිදු කෙරේ.

ගැසට් පත්‍රය අනුව, ප්‍රතිලාභීන්/ පවුල් සංඛ්‍යාව සහ යෝජිත සහනාධාර මුදල

සමාජ කණ්ඩායම කාල රාමුව ප්‍රතිලාභීන්/ පවුල් සංඛ්‍යාව පවුල් ඒකකයක් සඳහා යෝජිත මාසික සහනාධාර මුදල (රු)
සංක්‍රමණික 2023 දෙසැම්බර් 31 දක්වා 400,000 2,500
අන්තරායී 2024 මාර්තු 31 දක්වා 400,000 2,500
දිළඳු 2023 ජූූලි 1 සිට වසර තුනක් 800,000 8,500
අන්ත දිළිඳු 2023 ජූූලි 1 සිට වසර තුනක් 400,000 15,000

 

සමෘද්ධි වැඩසටහන වෙනස් කොට අස්වැසුම හඳුන්වා දීමට ප්‍රධාන හේතුව සමෘද්ධියේ ඇති විශාල බහිෂ්කරණ දෝෂයන්ය. බැලූ බැල්මට මෙය සාධනීය වෙනසක් වූ අතර පවතින තීරණාත්මක අවස්ථාවේදී මෙම වැඩසටහන සඳහා අරමුදල් උත්පාදනය කිරීමට රජය දරන උත්සාහය අගය කළ යුතුය. සුදුසුකම් ඇති පවුල් ක්‍රමානුකූලව තෝරා ගැනීම සඳහා නිර්ණායක 21කින් යුතු නිර්ණායක පද්ධතියක් සකස් කරන ලදී. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමට ලෝක බැංකුව විසින් දරිද්‍රතා අධ්‍යයන කේන්දුය තෝරා ගන්නා ලදී. මේ අතර, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී යම් දෝෂයක් සිදු වුවහොත් රජයේ නිලධාරීන් ඊට ඍජුව වගකිව යුතු බවට රජය ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මෙම ගැසට් නිවේදනයට ප්‍රතිචාර දක්වමින් රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවට තර්ජනය කළේය. අවසානයේදී, එකී සැලසුම් කළ පුහුණු වැඩසටහන් සිදු නොවූ අතර, විනිවිද පෙනෙන ක්‍රියාවලියක් අනුගමනය නොකර නිවාස තෝරා ගැනීම සිදු කරන ලදී. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව දැනට සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් මිලියන 1.894ක් තේරීම වෙනුවෙන් අයදුම්පත් මිලියන 3.744ක් ලැබී ඇත. අභියාචනා සංඛ්‍යාව මිලියන 1.028 ක් වූ අතර විරෝධතා 134,540 කි. ILO, UN Women ප්‍රකාශනයක මෙසේ සඳහන් වෙයි.

‘හරිගියොත් හරි ගියා – වැරදුණොත් වැරදුණා’ වැනි ප්‍රවේශයක් අනුගමනයක කරමින් කෙටි පණිවිඩ යැවීම සහ QR කේත හරහා තහවුරු කිරීමේ ක්‍රම ආධාරයෙන් කෙ‌රුණු ප්‍රතිලාභීන් හඳුනා ගැනීම හේතුවෙන් අවදානමට ලක්විය හැකි කාන්තාවන් එම හඳුනා ගැනීමේ ක්‍රියාවලියෙන මගහැරිණි. ප්‍රතිලාභීන් තේරීමට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ නැති බව ප්‍රකාශ කිරීම නිසා එය වගවීමේ අඩුවකට ද හේතු විය.[16]

අස්වැසුම වැඩසටහනේ පළමු වසර අවසන් වූයේ 2024 ජූලි මාසයේදීය. සමෘද්ධිය වෙනුවට නව වැඩසටහනක් හඳුන්වාදීම සාධාරණීකරණය කිරීමට ඇති අවස්ථා හීන කරමින් සමෘද්ධිලාභීන් ලක්ෂ 4ක් මෙකී නව වැඩසටහනට ද ඇතුළත් කර ගැණිනි. දරිදුතා අධ්‍යයන කේන්ද්‍රය විසින් සිදු කළ ගෘහස්ත සමීක්ෂණයක මූලික සොයාගැනීම්වලින් පෙනී යන්නේ අස්වැසුම වැඩසටහන තුළ බහිෂ්කරණ දෝෂය 70%ක් තරම් ඉහළ විය හැකි බවයි. අනුගමනය කළ තේරීම් ක්‍රියාවලිය සහ විශාල බහිෂ්කරණ දෝෂවල ප්‍රතිඵල අනුව සමෘද්ධියේ සිට අස්වැසුම දක්වා සිදු කළ වෙනස, දේශපාලන පක්ෂපාතිත්වය එක් දේශපාලන පක්ෂයකින් තවත් පක්ෂයකට වෙනස් කිරීමට දරන උත්සාහයක් දැයි ප්‍රශ්න කළ හැකිය. ණයට ගත් සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමට නම්, ඇස්වැසුම මීළඟ අදියර ක්‍රියාත්මක කිරීමේදී නිසි පශ්චාත් ඇගයීමක් සිදු කිරීම සහ තේරීම් නිර්ණායක නැවත බැලීම ඉතා වැදගත් වේ.

  1. ඉදිරි මග

සමස්ත සංවර්ධන ක්‍රියාවලියම අඩාල කළ හැකි දූෂණය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගයකි. පුළුල් අර්ථයකින්  ගත් කළ, දූෂණය යනු ඌන සංවර්ධිත ලක්ෂණයක් වන අතර රටවල් දියුණු වන විට බොහෝ ආකාරයේ දූෂණ අතුරුදහන් වේ. අවාසනාවකට මෙන්, දූෂණය ද රටක සංවර්ධනය සඳහා විශාල බාධාවක් විය හැකිය. මෙම ලිපියේ විස්තර කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට, වෙනත් සාධක අතර, දූෂණය ද සැලකිය යුතු ලෙස දායක වී ඇත. රට තිරසාර ආර්ථික වර්ධන මාවතකට ගෙන ඒම සඳහා දූෂණය මැඩලීම සඳහා ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ හදිසි අවශ්‍යතාව රට හමුවේ පවතී. IMF ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව මේ සඳහා නිර්දේශ 89 ක් ඉදිරිපත් කර ඇති අතර ඒවායින් 16 ප්‍රමුඛතා නිර්දේශ ලෙස වර්ගීකරණය කර ඇත. මීට අමතරව සහ සිවිල් සමාජ සංවිධාන විසින් ද සමාන නිර්දේශ යෝජනා කර තිබේ[17]:

  1. දූෂණ විරෝධී නීතිමය රාමු වැඩිදියුණු කිරීම.
  2. දේශපාලන නායකයින් සහ උසස් රාජ්‍ය නිලධාරීන් විසින් වත්කම් ප්‍රකාශ කිරීම.
  3. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය ශක්තිමත් කිරීම.
  4. දූෂණ නඩු සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශන ශක්තිමත් කිරීම
  5. අයවැය සම්පාදනය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම.
  6. විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතු රාජ්‍ය ආයෝජන කළමනාකරණය.
  7. රජය සතු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ කළමනාකරණය.
  8. බදු ප්‍රතිපත්තියේ විනිවිදභාවය සහ වගවීම.
  9. මහ බැංකුවේ යහ පාලනය.
  10. සේවක අර්ථසාධක අරමුදල හැසිරවීමේ රාමුවට ප්‍රතිසංස්කරණ.
  11. මුල්‍ය අංශය අධීක්ෂණයට නතු කිරීම.
  12. නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරිම.
  13. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිමය රාමුව ක්‍රියාත්මක කිරීම සහ වැඩිදියුණු කිරීම.

ශ්‍රී ලාංකේය සමාජයේ සියලුම ස්ථරයන් හරහා දැඩිබ මුල් බැසගෙන ඇති දූෂණය අවම කිරීම සඳහා විශාල ක්‍රියාමාර්ග රැසක් ගැනීමට අවශ්‍ය වන අතරම, කඩිනම් පියවර කිහිපයක් ප්‍රම්‍රඛ ලෙස සැලකිය යුතුය. පළමුව, දේශපාලන නායකයින් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් භුක්ති විඳින දණ්ඩමුක්තිය අවසන් කිරීම දූෂණය මැඩලීම සඳහා අවශ්‍ය වන හදිසි සහ කඩිනම් ක්‍රියාමාර්ගයකි. ඒ සඳහා ජනාධිපති, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ එක් දිනකින් පැවැත්වීම පිණිස මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතුය. එවැනි මැතිවරණ ප්‍රතිසංස්කරණ මගින් දේශපාලකයන්ගේ මහා දූෂණ සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු කළ හැක්කේ දූෂණයට එක් මූල හේතුවක් නම් මැතිවරණ ප්‍රචාරක වියදම් ඉතා ඉහළ වීමයි.

දෙවනුව, කුඩා පරිමාණයේ දූෂණ වැළැක්වීම සඳහා පැරණි, අදාළ නොවන සහ දූෂණයට ඉඩ සලසන ක්‍රම සහ රෙගුලාසි ඉවත් කළ යුතුය. තෙවනුව, දිගු කාලීනව යහපත් ජීවිතයක් සහතික කිරීම සඳහා සියලුම රාජ්‍ය සේවකයන්ට සහ දේශපාලනඥයන්ට සාධාරණ වැටුප් ලබා දිය යුතුය. එය සාක්ෂාත් කර ගැනීම සඳහා ආර්ථිකයේ ප්‍රමාණයට සරිලන සාධාරණ සේවක සංඛ්‍යාවක් සහිත කාර්යක්ෂම රාජ්‍ය අංශයක් පවත්වාගෙන යා යුතුය.

සිව් වැනිව, රාජ්‍ය නිලධාරීන්ට නිවැරදි දිරිගැන්වීම් ලබා දීමේ ධනාත්මක පියවරවලට සමගාමීව නීතිය ක්‍රියාත්මක වීම ශක්තිමත් විය යුතුය. පස්වනුව, විශේෂයෙන්ම බදු අයකිරීමේදී තොරතුරු තාක්ෂණය භාවිතයට ප්‍රමුඛත්වය දිය යුතුය අතර දූෂණය මැඩලීම සඳහා එයින් විශාල ප්‍රතිලාභ ලැබෙයි.

2023 දූෂණ විරෝධී පනතට අවශ්‍ය වෙනස්කම් බොහොමයක් ඇතුළත් කර ඇත. දූෂණය මැඩලීම සඳහා නීතිමය සහ නියාමන ක්‍රියාමාර්ගවල හිඟයක් නොමැත. එහෙත් පවතින සැබෑ අඩුව වන්නේ පවතින නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට රජය දක්වන උනන්දුව අඩුවීමයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙ ප්‍රතිලාභීන් බවට පත්ව ඇත්තේ දේශපාලන නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් වන බැවිනි. රටේ සංවර්ධනයට ඇති ප්‍රධාන බාධකය පුළුල් ලෙස පැතිරී ඇති දූෂණය බව සලකන විට, දූෂණය මැඩලීම පිණිස මීළඟ ආණ්ඩුවේ දේශපාලන අභිලාෂය ජාතියේ ඉරණම තීරණය කරනු ඇත.

 

[1] https://www.treasury.gov.lk/api/file/d0bbb4a3-3b7f-4b2e-98ae-fdecc0181788

 

[2] https://thediplomat.com/2024/06/adanis-wind-power-project-in-sri-lanka-hits-rough-weather/

[3] https://www.epa.gov/vw/learn-about-volkswagen-violations

[4] https://www.undp.org/sites/g/files/zskgke326/files/migration/asia_pacific_rbap/a5da6055e42bffdd5525854d04b3b0c99872e05a7afe57f56e18066428b61257.pdf

[5] සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපියක් මත පදනම්ව.

[6]https://www.tamilguardian.com/content/sri-lankas-utility-regulator-refuses-approval-adani-wind-power-project-north-east

[7]https://www.tamilguardian.com/content/sri-lanka-enters-20-year-power-purchase-deal-adani-wind-farms-mannar-and-pooneryn

[8]https://thediplomat.com/2024/06/adanis-wind-power-project-in-sri-lanka-hits-rough-weather/

[9] https://www.ncbi.nlm.nih.gov/books/NBK535646/

[10] https://www.adaderana.lk/news.php?nid=96964

[11]https://www.sundaytimes.lk/231203/news/drug-purchases-fresh-evidence-reveals-more-details-about-health-ministrys-fast-track-deals-540992.html

[12] Ramos et.al 2020, Social protection in Sri Lanka: An analysis of the social, economic and political effectiveness of the Samurdhi program. Munich Personal RePEc Archive (MPRA).

[13] The World Bank 2012, Sri Lanka’s Demographic Transition: Facing the Challenges of an Aging Population with Few Resources, Luxshmanan Nadaraja, 29 September

[14] CEPA, 28 October 200. 7Poverty alleviation programmes ineffective -, Sunday Times Sri Lanka

 

[15] https://www.centreforpublicimpact.org/case-study/samurdhi-programme-sri-lanka

[16]file:///C:/Users/hmg54/OneDrive/Desktop/SL%20Economy/social_assistance_in_crises_and_austerity_sri_lanka_en.pdf

[17] කතුවරයා විසින් එම යෝජනා සංස්කරණය කර තිබේ.

Share now