+ 94 11 2504010
info@cepa.lk

නව “අස්වැසුම” – දුගී සුරක්ෂිතතා වැඩසටහන පිළිබඳ විවරණයක් සහ විවේචනයක්

Posted by CEPA Web Admin
June 12, 2023 at 9:09 am

හේමසිරි කොටගම

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය

දුගී ප්‍රජාවට   සහන සලසා  ආරක්ෂා කරගැනීම සහ ඔවුන්ගේ ජිවිත  නගා  සිටුවීම, අත්‍යවශ්‍ය  මානුෂික සමාජ වගකීමකි. අප රට යටත් විජිතත්වයෙන් නිදහස්වුදා සිට දුගී ප්‍රජාව නගා සිටුවිමිට රාජ්‍ය මැදිහත්වීමෙන් නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කර  ඇත. මේම  වැඩසටහන් අතුරින්  මැතක් දක්වා, දශක තුනක්,   ක්‍රියාත්මක වුයේ  සමෘද්ධි වැඩසටහනයි. මෑතකදී ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදලින්  ලබාගත්  ණය වැඩසටහන යටතේ, ශ්‍රී  ලංකා රජය  අස්වැසුම නමින් දුගී ප්‍රජාවට මුල්‍ය සහන සැලසිමට, අලුත් සමාජ ආරක්ෂණ   ප්‍රතිසංස්කරන  වැඩසටහනක් නීතිගත කළේය. මෙම වෙනස ඇති කලේ ඇයී? මොනවද කල වෙනස්කම්? කල වෙනස්කම් පෙරට වඩා හොඳද? මෙම වෙනස  චිරස්තිනව දුගී ප්‍රජාවට සහන සලසාවිද? මෙම ප්‍රශ්න විවේචනාත්මකව විවරණය කිරිම මේ ලිපියේ අරමුණ වේ.

සමෘද්ධියෙන් අස්වැසුමට: මෙම වෙනස ඇති කලේ ඇයී?

පවතින  ආර්ථික අර්බුදයෙහි හේතු කාරක කුමක් වුවද, වග කිව යුත්තන්  කවුරු වුවද, එහි ප්‍රතිඵලය   දුප්පත් පවුල්වලට වේදනාකාරී ලෙස  ලෙස බලපා ඇති  බව අවිවාදාත්මක යථාර්තයයි. අතිශයෙන්ම මන්දගාමීවූ ආර්ථික  ක්‍රියාකාරකම්  හේතුවෙන්  වැසුනු  ව්‍යාපාර​ නිසා, රැකියා සහ ආදායම් අහිමිවීම් පුළුල්ව  සිදුවින. ඇතිවූ අතිශය අධික මිල උද්ධමනය දුප්පතුන් කබලෙන් ලිපට හෙළිය. දුප්පත් පවුලක්  පරිභෝජනය කල භාන්ඩ හා සේවා මිල උද්ධමනය 66.4% වූ අතර   මධ්‍යම පන්තිකයන් මුහුණපෑ උද්ධමනය 56.2% විය. විශේෂයෙන් ආහාර  මිල උද්ධමනය 2022 සැප්තැම්බරය  වන විට 94.5% විය. ඒසමගම   රටෙහි ආහාර අනාරක්ෂිත ජනගහනය 33% දක්වා ඉහල නැගුණි. මිල අධික අත්‍යවශ්‍ය ආහාර සඳහා  වියදම් කිරීම අත්හැරිය නොහැකියාවෙන්,  ළමුන්ගේ පාසල් පිරිවැය ආදිය අතහැරීමට සිදු වී ඇත. අති දුප්පතුන්ට උකසට තාබවත්  තාවකාලික අදායමක්  ලබාගැනීමට මුල්‍ය අගයන් ඇති දෑ නොවීමත්, කුලියක් කිරීමටවත් අවස්ථා  නැති වීමත්,  නිසා, ඔවුන් දැඩිව අසරණ විය. LIRNEasia ආයතනය, රටම නියෝජනය වනලෙස පවුල් 10000 නියැදි සමීක්ෂණයකින්, මෙම තත්වයන් විද්‍යාත්මකව සහ සංක්‍යත්මකව තහවුරු කර ඇත (https://lirneasia.net/ssnresources).

ශ්‍රී  ලංකාවේ ආර්ථික  අර්බුදය හේතුවෙන් දරිද්‍රතා  අනුපාතය  දෙගුණයකට වඩා වැඩි වී ඇත. ජාත්‍යන්තර  වශයෙන්  දරිද්‍රතා අනුපාතය ලෙස සලකනුයේ ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක්  දිනකට ඩොලර් 3.65   අඩුවෙන් ලබන්නේද  යනුය.  මෙම මිනුම මත 2022 දී  දරිද්‍රතා අනුපාතය  ඊට පෙරවූ 11.3% සිට  25.6% දක්වා වැඩිවී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇස්තෙමේන්තු කර ඇත. LIRNEasia ආයතනය, රටම නියෝජනය වනලෙස පවුල් 10000 නියැදි සමීක්ෂණයකින්, සොයාගෙන ඇත්තේ දරිද්‍රතා අනුපාතය 31% බවකි (07, ජුනි, 2023).

ශ්‍රී ලංකාවේ අතීත ​ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල ඉලක්ක කිරීම (ප්‍රතිලාභ ලබන්නේ කවුද) සහ ආවරණය (ප්‍රතිලාභයේ ප්‍රමාණය සහ ප්‍රතිලාභ  ලබන පුද්ගල සංක්‍යව) දුර්වල බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හදුනාගෙන ඇත.  සමෘද්ධි ආවරණය සහ ප්‍රතිලාභීන් ඉලක්ක කර ගැනීම, කාලයත් සමඟ අනිසි අතට හැරී ඇත. 2006 දී, ජනගහනේයෙන් අඩුම අදායම් ලබන 20% අතරින්  50% කට වඩා සමෘද්ධි ප්‍රතිලාභ  ලැබූ අතර 2019 වන විට එය  38%ක් දක්වා අඩුවී ඇත. තවද 2019 වසරේ දත්ත අනුව පොහොසත්ම​   20% අතර 12%  සමෘද්ධි ප්‍රතිලාභ  ලබන බව අනාවරණය වී ඇත. LIRNEasia ආයතනය, 07, ජුනි, 2023 වාර්තා කලේ සමාජයේ දුප්පත්ම පවුල් 10%න්, සමෘද්ධි ප්‍රතිලාභ  ලැබෙන්නේ 31%ට පමණි. පොහොසත්ම පවුල් 10%න් , 4% සමෘද්ධි ප්‍රතිලාභ  ලබයි!!!

ශ්‍රී  ලාංකීය සමාජ ආරක්‍ෂක  වැඩසටහන්වල මුල්‍ය ප්‍රමාණවත් බව, සාපේක්ෂව සලකන්නේ නම්, 2019 වසරේදී ප්‍රතිලාභීයෙක්  ලැබූ ප්‍රතිලාභය ඔවුන් ප්‍රතිලාභ​ ලබන්නට පෙර පරිභෝජන පිරිවැයෙන් 12% වූ අතර, ලෝකයේ අනෙකුත් අඩු සහ ඉහළ මද්‍යම  ආදායම් සහිත රටවල මෙම අගය 30%. වර්ෂ 2020-22 වසර වලදී මුල්‍ය  සමාජ ​ ප්‍රතිලාභ වැඩි කලද අතිශය ඉහල උද්ධමනය නිසා ලැබූ සත්‍ය  ප්‍රතිලාභ ​ වල ඉහල යාම අඩුවූ බව නිසැකය.

ශ්‍රී ලංකාවේ වර්තමාන​​ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල  ඉලක්ක කිරීම (ප්‍රතිලාභ ලබන්නේ කවුද) සහ ආවරණය (ප්‍රතිලාභයේ ප්‍රමාණය) දුර්වල බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ LIRNEasia ආයතනය විද්‍යාත්මකව  හදුනාගැනීම, සමෘද්ධි වැඩසටහන අස්වැසුමසේ වෙනස් කිරීම  සාධාරණීකරණය කරයි. ඉහත විස්තර කරන ලද පසුබිම මත ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදල ලබාදුන්  ණය වැඩසටහන යටතේ ශ්‍රී  ලංකා රජය එකඟ වූ  සමාජ ආරක්ෂණ  ප්‍රතිසංස්කරන  පහතින් දැක්වේ.

  • 2023 වසරට සමාජ ආරක්ෂණ වියදම් සදහා රු. බිලියන 187 (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6) වෙන් කර ඇත. මෙම මුදල පවතින සහ පැවතිය හැකි උද්ධමනය සලකමින් ඇස්තෙමේන්තු කර ඇත.
  • 2023 සිට රජය සමාජ ආරක්ෂණය වැඩ සටහන් සදහා වාර්ෂිකව දල ජාතික අදායමින් 6-0.7% වෙන්කරනු ඇත.
  • 2023 දී ප්‍රතිලාභීන් සංක්‍යව 2022 වූ සංක්‍යව  වූ මිලියන 3 වනු ඇත.
  • අනාගත ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා නව අනුමානයන් යොදා ගනු ඇත. මෙම අනුමාන මත  ප්‍රතිලාභීන් තේරීම, ඔවුන් එක්  කිරීම සහ ඉවත් කිරීම ක්‍රමවත් වෙනු ඇත.
  • කාර්යක්ෂමතාව, ආවරණය සහ ඉලක්ක කිරීම වැඩිදියුණු කිරීම සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ  සිදු කරනු ඇත.
  • සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය (Welfare Benefits Board) ක්‍රියාත්මක කිරීම (2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතට අනුකූලව). මෙම මණ්ඩලය මුදල්  අමාත්‍යන්ශය  යටතේ නීතිමය ආයතනයක්  ලෙස  සියලුම සමාජ ආරක්ෂණ  වැඩසටහන් සහ ප්‍රතිසංස්කරණ  සම්බන්ධීකරණය කරනු ඇත.
  • සුබසාධන ප්‍රතිලාභ අයදුම්කරුවන්ගේ විද්‍යුත් දත්ත ගබඩාවක් පිලියෙල කරනු ඇත.
  • සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කරනු ලබන  නිර් ණා  යක​ වලට අනුකූලව (සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ  පිලිබඳ  19/10/2022 ගැසට් නිවේදනයට  අනුකුලව) සමාජ ආරක්ෂණය සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීම සහ සමාජ සුබසාධන  ප්‍රතිලාභ  ගෙවීම් සම්බන්ධීකරණය   කරනු ඇත.

සමෘද්ධියෙන් අස්වැසුමට: මොනවද කල වෙනස්කම්?

අස්වැසුමේ උත්සාහය, දුගී පවුල් හදුනාගැනීම (1) ක්‍රමවේදය වැඩි දියණු කිරීමය සහ (2) දුගී පවුල්වලට දෙන මුල්‍ය ප්‍රතිලාබ වැඩි කිරීමය.

  1. අස්වැසුමෙන් දුගී පවුල් හදුනාගැනීම ක්‍රමවේදය වැඩි දියණු කිරීම

විවරණය: අස්වැසුම යටතේ ප්‍රතිලාභීන් (දුගී පවුල්)  තෝරාගැනීම සඳහා බහු මානයන් සමුචිතයක් යොදාගැනේ. මෙම  මාන මත  ප්‍රතිලාභීන් තේරීම, ඔවුන් අස්වැසුම වැඩසටහනට එක්  කිරීම සහ ඉවත් කිරීම ක්‍රමවත් වෙනු ඇතිබව අපේක්ෂා කෙරේ. මෙම නව ක්‍රමවේදය, 2022/10/20 දිනැති  ගැසට් අංක 2302/23හි,  මැනවින් විස්තර කර ඇත. දුගී පවුල් හදුනාගැනීම නොයෙකුත් රටවල් නොයෙකුත් ආකාරයට කරයි. පහතින් සදහන් වන්නේ ප්‍රදාන ක්‍රමවේදය.

  1. අහාර සුරක්ෂිතතාවය: යම් පවුලක් තම අදායමින් 60% වඩා ආහාර සඳහා වියදම් කරයිද, එම පවුල දුගී පවුලකි.
  2. මුල්‍ය අදායම: යම් පවුලක් දුගීබවේ රේකාවෙන් පහල අදායමක් ලබයිද, එම පවුල දුගී පවුලකි. දුගීබවේ රේකා අදායම් මට්ටම  ජාතියන්තර හෝ ජාතික වශයෙන් තීරණය කල හැක (ජාතියන්තර මට්ටම ඉහතින් සදහන් කර ඇත). මේ පිලිබඳ ශ්‍රී ලංකාවේ බාවිතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ප්‍රකාශනවලින් සවිස්තරාත්මකව දැනගත හැක.
  3. බහුමාන දුගීබව: දුගී බව මුල්‍ය මානයෙන් පමණක් නිවැරදිව හදුනාගත නොහැකි යන මතය මත, දුගී බව නිරුපනය කරන මානයන් සමුත්චිතයක් බාවිතයෙන් දුගීන් හඳුනාගැනීම.

අස්වැසුම වැඩසටහන පිලිබඳ  2022/10/20 දිනැති  ගැසට් අංක 2302/23, විස්තරකර ඇති පරිදි දුගී පවුල් හදුනාගැනීම සඳහා ‍‌භාවිතා වන බහුමානයන් සහ දර්ශක පහත වගුවෙන් උපුටා දක්වා ඇත. යම් පවුලක්  යම් දර්ශකයකට අවනත වේ නම් (දුගී නම්) 1 ලෙසද නොමැතිනම් 0 ලෙසද සැලකේ. දර්ශක අවනත වීමේ මට්ටම් සහ ගුණාංග ගැසට්ටුවේ සඳහන් වේ.  සැම දර්ශකයකටම, ජන ලේඛන හා සංක්‍ය   ලේඛන දෙපාර්තමේන්තුව විසින් ආසන්නම කාලයකදී කරනලද ගෘහස්ත අදායම් හා වියදම් සමීක්ෂණය පදනම්ව ගණනය කරනලද ‘බරක්’ දෙනු ලැබේ. මෙම බරවල් යනු එක් එක් දර්ශකය අන් දර්ශක වලට සාපේක්ෂව දුගී බව මිණීමේ දරන දායකත්වයයි. දුගී බවට අවනත වන දර්ශකයන්, ඒවාට හිම බරින් ගුනනනය කොට, එම ගුනනයන් එකතු කල විට, එක් එක් පවුල සදහා දරිද්‍රතා අගයක්  ලැබේ. මෙම දරිද්‍රතා අගයහි උපරිම අගය 100% (සැම දරිද්‍රතා දර්ශකයෙන්ම දුගී පවුලක්). තෝරාගන්න ලද දරිද්‍රතා චෙදෙන අගයක් මත (උදාහරනයක් ලෙස 30%) දුප්පත් සහ පෝසත් පවුල් වෙන්කරනු ඇත. දරිද්‍රතා චෙදෙන අගය ප්‍රයෝගිකව තීරණය වනුයේ දේශපාලනමය සහ රාජ්‍ය අය-වැය කාරනා  මත හෝ රාජ්‍ය නිලදර සාමුහික මතයක් මතය .

ගෘහස්තවලින් දර්ශක දත්ත එකුත් කල තැන සිට දුගී බව තීරණ කිරීම දක්වා ක්‍රමවේදය පරිගණක ආශ්‍රිතව සිදුකෙරේ. දුගී ලෙස තෝරා ගත් පවුල්  ප්‍රසිද්ධියේ පල කරන අතර ඒ පිළිබඳ අබියාචනා කිරීමේ ක්‍රම වේදයක් ඇත.

විවේචනය:

අස්වැසුමෙන් ග්‍රාමීය ආයතන හායනය: සමෘද්ධි වැඩසටහනේ මුල්යුගයේ දුගී පවුල් හදුනාගත්තේ ග්‍රාමීය කොමිටියකිනි. එහි සාමාජිකයන් වුයේ ග්‍රාමීය: ආගමික නායකයින්, ප්‍රබු පුද්ගලයන්, රාජ්‍ය නිලධාරින් සහ  සමෘද්ධි සංගම් නියෝජිතයන්ය. දශක තුනක් තිස්සේ ක්‍රියාත්මකවූ මෙම ක්‍රමය ග්‍රාමීය රාජ්‍ය නිලධාරින් සහ ගැමියන් අතර සහයෝගිතා ග්‍රාමීය ආයතනක් ලෙස ස්ථාපිත වුවකි. මෙම සමෘද්ධි ආයතනය තුලින් ග්‍රාමීය පොදු කටයුතු මෙන්ම, දුගී පවුල් දුගී බැවින් මුදවාලිමට විශාල කාර්යබාරයක් ඉටුකලයේ. අස්වැසුම වැඩසටහන තුලින් සමෘද්ධියෙන් ආයතනගතකල  ග්‍රාමීය ආයතන අඩපන වීමක් සිදුවේ. සමෘද්ධි නිලදාරීන් සහ සමෘද්ධි ප්‍රතිලාබින් අතර සබැදියාව දුර්වල වේ. එමගින් සිදුවුණ ග්‍රාමීය පොදු කටයුතු මෙන්ම, දුගී පවුල් දුගී බැවින් මුදවාලිමේ කාර්යන් අඩාල වනු ඇත. සමෘද්ධිය සමග ආයතනගතවුන ග්‍රාමීය ආයතන කෙසේ පවත්වාගන යන්නේද තවම පැහැදිලි නැත.

අස්වැසුමේ  දුගීබවේ සුත්‍රයේ වලංගුභාවය: දුගී පවුල් හදුනා ගැනීමට, පුද්ගල කොමිටි වරණයෙන් තොරවූ,  සුත්‍රගත පරිගණක වරණයෙන් බලපොරුත්තු වනුයේ, වාඩා නිවැරදිව සහ දේශපාලන බලපෑම්වලින් තොරව දුගී පවුල් හදුනා ගැනීමටය. එය එසේ වීමට නම් සුත්‍රය නිවැරදි විය යුතුය, දත්ත රැස්කරන්නා මෙන්ම දත්ත ලබාදෙන්නා අවංක විය යුතුය. සුත්‍රයේ දුගී බව හදුනා ගැනීමට බහුමාන භාවිතය න්‍යායාත්මකව සුදුසු බව හැඟෙ. විද්‍යාත්මක “අනුකරණ” ක්‍රමවේද යෙදීම් මත යෝජනා වන්නේ සමහර මානයන් (වත්කම්, නිවස) යටෙතේ ඇති දර්ශක ගණන වැඩි නිසා, එම මානයන්ට අනිසි ලෙස වැඩි බර ලැබේන බවකි. එසේ වූ විට දුගී බව තීරණය වන්නේ අසාමාන්‍ය ලෙස වැඩි බර ඇති මාන මතය. වෙළදපල ආර්ථිකයක් තුල, ආහාර මෙන් අනෙකුත් එදිනෙද අවශ්‍යතා ලබා ගැනීමේ ක්‍රයශක්තිය දෙනුයේ පවුලේ අදායම නම්, එය සඳහා සාපේක්ෂව වැඩි බරක් දීම සුදුසුබව හැඟෙ. බර තැබීමේ ක්‍රමවේදය පිලිබඳ තව සිතාබැලිම සුදුසු බව හැඟෙ. සමාජ තීරණ සැමවිටම විශයමුලික විය යුතු නැත.

2019 ජන ලේඛන හා සංක්‍ය   ලේඛන දෙපාර්තමේන්තුව විසින් කරනලද ගෘහස්ත අදායම් හ වියදම් සමීක්ෂණ වාර්තාවේ අහාර සුරක්ෂිතතාවය, මුල්‍ය දරිද්‍රතාවය, බහුමාන දරිද්‍රතා පිලිබඳ සංසන්දනාත්මක දර්ශක ඇස්තෙමේන්තු කර ඇත. මෙම දර්ශක වලංගුනම් දර්ශක අතර ශක්තිමත් සහසම්බන්දතාවක් බලාපොරුත්තු විය හැක. නමුත් සංක්‍යන විශ්ලේෂණයෙන් එසේ තහවුරු නොවේ.

අස්වැසුමෙන් දරිද්‍රතා චෙදන අගය තීරණය  කිරීම: පවුල් කුමන සංක්‍යවකට    අස්වැසුම ප්‍රතිලාබ ලැබේද යන්න තීරණය වනුයේ දරිද්‍රතා චෙදන අගය මතය. දැනගැනීමට ඇතිලෙස දරිද්‍රතා චෙදන අගය තීරණවනුයේ  දේශපාලනමය සහ රාජ්‍ය අය-වැය කාරනා  මතය. දුපතුන් හදුනාගැනීම සුත්‍ර සහ පරිගණක ආශ්‍රිතව විෂමුලිකව කලත්, දරිද්‍රතා චෙදන අගය තීරණ වනුයේ  මනොමුලිකව  වනු ඇත. එබැවින් දුප්පතා කවුරුන්ද යනු කුමන සුත්‍ර යෙදුවත් මනොමුලික තීරණයක් වනු ඇත. දුපත් පවුල් කුමන සංක්‍යවකට, කුමන මුදල් ප්‍රතිලාබයක් ලැබේද යන්න තීරණය වෙන්නේ දේශපාලනමය සහ රාජ්‍ය අය-වැය කාරනා  මතය. එබැවින් අස්වැසුම සමෘද්ධියට  වෙනස් නොවේ. වෙනස්වෙන්නේ ග්‍රාමීය මට්ටේම දුපත් පවුල් තේරීමේදී ග්‍රාමීය ආයතන සහ දේශපාලන බලපෑම අඩුවීම පමණි. අස්වැසුම ක්‍රමවේදයේ  වාසියක් වනුයේ දරිද්‍රතා චෙදන අගය යටවූ දුපත් පවුල් හදුනාගැනීම විශයමුලිකව නිවැරදිව හදුනා ගැනීමය. බහුමාන දරිද්‍රතා අගයන්ගෙන්, මුල්‍ය දරිද්‍රතා අගයන්මෙන්, ඍජුව ප්‍රතිලාබ ප්‍රමාණය ගණනය කල නොහැක.

අස්වැසුමෙන් දුගී පවුල් තේරීමේ ක්‍රමයේ ඇති විනිවිද බව: සමාජ තීරණ විනිවිද බාවයකින් ගත යුතුය. “සාධාරනය ඉටුවීම පමණක් නොව එය ඉටුවූ බව හැඟීය යුතුය” යන කියමනක් ඇත. සාධාරනය ඉටුවූ බව හැගෙන්න, සාධාරනය ඉටුකරන ක්‍රමවේදය කාටත් තේරුම් ගත හැකි විය යුතුය. අස්වැසුමේ, මද්‍යගත, සුත්තරගත, පරිගණකගත, දුගී පවුල් තෝරන ක්‍රමවේදය සමාජය තේරුම් ගත හැකිද? අවසාන තීරණය පිළිගත හැකි වේද? දුගී බවේ ත්‍රිවතාවය පිලිබඳ දර්ශකය, විශ්වවිද්යාල ප්‍රවෙෂයට සිසුන් තෝරන “Z” දර්ශකය හා සමානය. Z දර්ශකය හදුන්වා  දුන් කාලයදී, මට එකල අද්යාපන ඇමති වූ   ආචාර්ය ගරු රිචර්ඩ් පතිරණ ඇමතිතුමා හමුවූ විටක, ඔහු මගෙන් ඉල්ලා සිටියා Z දර්ශකය තේරුම් කරන ලෙස. සංක්‍යන විද්‍යාව පිලිබඳ මුලික දැනුමක් තිබු බැවින්, මා උදාහරණ ඇතුව විස්තර කලේමි. සාවදානව අසා සිටි එතුමා මෙසේ කිය, “මටනම් යන්තම් තේරුණා, මම මේක මගේ ගමේ කෙනෙක්, පුතා විශ්ව විද්‍යාලයට නොතෙරුනේ ඇයි කියලා  ඇහුවම, කොහොමොද තෙරුන් කරන්නේ?”. දුගී බවේ ත්‍රිවතාවය පිලිබඳ දර්ශකයද  එලසමය. යමෙක් තමන්ට අස්වැසුමු නොලැබීම අභීයාචනා කලොත් ඔහුට කොහොම තේරුම් කරන්නද? නොපෙනන බලවේගයකින් දුගී බව තීරණය කලායයි ඔහු සිතා, දුක් වේවි!

  1. අස්වැසුමෙන් දුගී පවුල් සඳහා ලබාදෙන ප්‍රතිලාභයේ ප්‍රමාණයහි කල වෙනස්කම්

විවරණය: ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තා අනුව 1919 වසරදී පුද්ගලයන් 2314000ට සමාන්‍ය වශයෙන් පුද්ගලයෙකුට රුපියල් 2117 බැගින්, රුපියල් බිලියන 58.8ක් මුල්‍ය ප්‍රතිලාබ ලබා දී තිබේ. මෙම ප්‍රතිලාබය දුගී 20% වූ පවුලවල සාමාන්‍ය මාසික පරිබෝජන වියදම වූ රුපියල් 19426න් 11%වේ.

ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදල ලබාදුන්  ණය වැඩසටහන යටතේ ශ්‍රී  ලංකා රජය එකඟ වූ  සමාජ ආරක්ෂණ  ප්‍රතිසංස්කරන  යටතේ ගෙවීමට එකඟවූ ප්‍රතිලාබ ප්‍රමාණය පහතින් දැක්වේ.

  • 2023 වසරට සමාජ ආරක්ෂණ වියදම් සදහා රු. බිලියන 187 (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6) වෙන් කර ඇත. මෙම මුදල පවතින සහ පැවතිය හැකි උද්ධමනය සලකමින් ඇස්තෙමේන්තු කර ඇත.
  • 2023 සිට රජය සමාජ ආරක්ෂණය වැඩ සටහන් සදහා වාර්ෂිකව දල ජාතික අදායමින් 6-0.7% වෙන්කරනු ඇත.
  • 2023 දී ප්‍රතිලාභීන් සංක්‍යව 2022 වූ  සංඛ්යාව​  වූ මිලියන 3 වනු ඇත.

අංක 2328/13, 2023.04.01 දිනැති ගැසට් පත්‍රයට අනුව අස්වැසුම යටතේ දුගී පවුල් සඳහා ගෙවීමට අනුමතවී ඇති මුදල පහත වගුවෙන් දැක්වේ.

විවේචනය: 2023 වසරට සමාජ ආරක්ෂණ වියදම් සදහා රු. බිලියන 187, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති නය එකගතාව මත තීරණ වී ඇතත්, ඉහත  වගුව අනුව රජය රුපියල් බිලියන 189.6ක් අනුමත කර ඇත. මෙම ප්‍රතිලාබය 2019 දත්ත අනුව දුගී 20% වූ පවුල්වල සාමාන්‍ය මාසික පරිබෝජන වියදමෙන්  60%වේ. මෑතකදී ඇතිවූ මිල උද්ධමනය නිසා මෙම ප්‍රතිශතයහි  ප්‍රමාණික වෙනසක් වී ඇත. නමුත් තිබු ප්‍රතිශතයට වඩා ප්‍රගතියකි. 2023 සිට රජය සමාජ ආරක්ෂණය වැඩසටහන් සදහා වාර්ෂිකව දල ජාතික අදායමින් 0.6-0.7% වෙන්කරනු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති නිසා ඉදිරි වසර 3 තුල දුගී පවුල් සඳහා සැලකිය යුතු ප්‍රතිලාභ ලැබෙනු ඇත. එයින් ඉදරියට සමාජ ආරක්ෂණ වැඩසටහනේ චිරස්තිය බව රැදෙනුයේ,  රටේ ආර්ථික වර්ධනය සහ දේශපාලන තීරණ මතය.

වියාචනය: මෙම ලිපියේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් වන අතර ඒවා අනිවාර්යයෙන්ම CEPA හි අදහස් සහ ප්‍රතිපත්ති පිළිබිඹු නොකරයි.

 

Share now