+ 94 11 2504010
info@cepa.lk

වැඩ වර්ජන, වැටුප් සහ උද්ධමනය: අයිතිවාසිකම් සහ වගකීම් – ආචාර්ය එච්. එම්. ගුණතිලක

Posted by CEPA Web Admin
September 18, 2023 at 9:09 am

හැදින්වීම

“දුක්ඛිතභාවය සහ බලාපොරොත්තු සුන්වීම, බලාපොරොත්තුව සහ ප්‍රගතිය බවට පරිවර්තනය කළ ප්‍රධාන බලවේගය කම්කරු ව්‍යාපාරයයි” – මාර්ටින් ලූතර් කිං ජූනියර්

ඕනෑම සමාජයක වෘත්තීය සමිති ඉතා වැදගත්  කාර්යභාරයක් ඉටු කරයි. සේවක අර්ථසාධක අරමුදලට (EPF) ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අහිතකර බලපෑම් අවම කර ගැනීමට වෘත්තීය සමිති දරන ලද , එතරම් සාර්ථක නොවූ මෑතකාලීන ප්‍රයත්නයන් මෙම කෙටි ලිපිය ලිවීමට මා පෙළඹවීය. වෘත්තීය සමිති ක්‍රියාත්මක වීමට ඉඩ ලබා  දී ඇති ආකාරය නූතන සමාජයක කම්කරු ප්‍රමිතීන් පිළිබිඹු කරයි. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම, කම්කරු ප්‍රමිතීන් පිළිබඳ සංකල්පය ද මතභේදාත්මක වන අතර බොහෝ විට වරදවා වටහාගෙන ඇත. කෙසේ වෙතත්, රටක ප්‍රගතිය රඳා පවතින්නේ හොඳ කම්කරු  ප්‍රමිතීන් සහ ඒවා හදවතින්ම  ක්‍රියාත්මක කිරීම මත ය. එවැනි කම්කරු ප්‍රමිතීයන්ට  ගරු කිරීම මගින් ලැබෙන ධනාත්මක සමාජ ප්‍රතිලාභ ගණනාවක් ඇත; (i) නීතියට ගරු කිරීම, (ii) මානව හිමිකම් සඳහා ගෞරවය වැඩි කිරීම, (iii) විනීත වැඩ ප්‍රවර්ධනය කිරීම, (iv) සමාජ හවුල්කරුවන් අතර සංවාදය වැඩිදියුණු කිරීම සහ (v) ආනයනය කරන රටවල් මූලික ශ්‍රම ප්‍රමිතීන් (CLS) ඇතුළුව ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට (ILS) ගරු කිරීම වැඩි වැඩියෙන් ඉල්ලා සිටින බැවින් අපනයන සඳහා අපේක්ෂාවන් වැඩි දියුණු කරයි.

CLS යනු ජාත්‍යන්තරව පිළිගත් මූලික අයිතිවාසිකම් සහ මූලධර්ම හතරක එකතුවකි: (i) සංවිධානය වීමේ නිදහස සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය ඵලදායී ලෙස පිළිගැනීම, (ii) සියලු ආකාරයේ බලහත්කාර හෝ අනිවාර්ය ශ්‍රමය ඉවත් කිරීම, (iii) ළමා ශ්‍රමය ඵලදායී ලෙස අහෝසි කිරීම, (iv) සේවනියුක්තිය සහ වෘත්තිය සම්බන්ධයෙන් සිදුවන අසාධාරණකම් ඉවත් කිරීම. ශ්‍රී ලංකාව ඵලදායීව බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම ඉවත්කර ඇති අතර ළමා ශ්‍රමය ලබා ගැනීම අවම කර ඇත. කෙසේ වෙතත් මෑත කාලීනව ශ්‍රී ලාංකීය සමාජය මත පටවා ඇති මහා පරිමාණ දරිද්‍රතාවය නිසා ළමා ශ්‍රමය ඉහළ යාමට ඉඩ ඇති අතර මෙය අදාළ බලධාරීන්ගේ සහ සිවිල් සංවිධානවල අවධානය යොමු විය යුතු වැදගත් කරුණකි. සේවනියුක්තියේ  සහ වෘත්තියේ අසාධාරණකම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් බොහෝ දේ කළ යුතුව තිබේ. ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය, ආගම, භූගෝලීය සම්භවය (ග්‍රාමීය එදිරිව නාගරික) සහ දේශපාලන අනුබද්ධතා සම්බන්ධයෙන් සේවනියුක්තියේ සහ වෘත්තියේ   වෙනස්කම් තවමත් පුළුල්ව පවතී. කෙසේ වෙතත්, මෙම ලිපිය ශ්‍රී ලංකාව තුළ සංවිධානය වීමේ නිදහස සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය පිළිබඳව පමණක් අවධානය යොමු කරයි.

වැටුප් නිර්ණය කිරීමේ සරල ආර්ථික  විද්‍යාව

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ප්‍රධාන ඉල්ලීම වැටුප් වැඩිවීම වන අතර රැකියා සුරක්ෂිතභාවය, රැකියා ස්ථානයේ තත්ත්වය , සෞඛ්‍ය සහ ආරක්ෂක ප්‍රමිතීන් යනාදියද ඉඳහිට  ඉල්ලා සිටී. ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ශිෂ්‍ය විරෝධතා ද පෞද්ගලික අධ්‍යාපනය වැලැක්වීම අරමුණු කර ගත් අවස්ථාද ඇත. කෙසේ වෙතත් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ වැටුප් වැඩිවීමට අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග පමණි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල බලපෑම අවබෝධ කර ගැනීම සඳහා ආර්ථිකය තුළ වැටුප් තීරණය වන්නේ කෙසේද යන්න තේරුම් ගත යුතුය. මේ සඳහා ලාභය උපරිම කරන ආයතනයක් ලෙස සලකමු. සමතුලිතතාවයේදී  ඕනෑම යෙදවුමක මිල පහත සමීකරණය මගින් තීරණය වේ:

යෙදවුමේ මිල =  යෙදවුමේ ආන්තික නිෂ්පාදනය X නිමැවුමේ මිල

ආන්තික නිෂ්පාදනය  යනු  යෙදවුමේ කුඩා වැඩිවීමක ප්‍රතිඵලයක් ලෙස නිමැවුමේ වර්ධක වැඩිවීමයි. ආන්තික නිෂ්පාදනය යනු යෙදවුමට අදාළ නිෂ්පාදන ශ්‍රිතයේ ව්‍යුත්පන්නයක් බව ගණිතය පිළිබඳ දැනුමක් ඇති අය දනිති. ශ්‍රමය ආර්ථිකයේ නිෂ්පාදන සාධකයක් වන අතර වැටුප ශ්‍රමයේ මිල වේ, කෙනෙකුට සාර්ව ආර්ථිකය සඳහා මෙම සමීකරණය පහත පරිදි නැවත ලිවිය හැකිය:

වැටුප් දර්ශකය = ශ්‍රමයේ ආන්තික නිෂ්පාදනය X මිල දර්ශකය

ව්‍යාපාර ආයතනික  මට්ටමේ සමීකරණය සමස්ත ආර්ථිකයට පරිවර්තනය කිරීමේදී, සමස්ත ආර්ථිකය සඳහා හෝ අංශයක් සඳහා ශ්‍රමයේ ආන්තික නිෂ්පාදනය ගණනය කළ යුතුය. සමස්ථ ආර්ථිකය සඳහා සමීකරණය යෙදේ නම්, මිල දර්ශකය පාරිභෝගික හෝ නිෂ්පාදකයාගේ මිල දර්ශක වේ. උදාහරණයක් ලෙස, කෘෂිකාර්මික අංශය සඳහා මෙම සමීකරණය යෙදුවහොත්, සමස්ත අංශය සඳහා ශ්‍රමයේ ආන්තික නිෂ්පාදනය ඇස්තමේන්තු කළ යුතු අතර මිල දර්ශකය ආහාර මිල දර්ශකය වේ.

දැන් අපි වැටුප් නිර්ණය පිළිබඳ මූලික සංකල්පය හුරුපුරුදු බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල බලපෑම විශ්ලේෂණය කරමු. සාමූහික කේවල් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස වැටුප් වැඩි වන බව උපකල්පනය කරන්න, සමීකරණය සමතුලිත කිරීම සඳහා  ශ්‍රමයේ ආන්තික නිෂ්පාදනය හෝ  මිල දර්ශකය හෝ  දෙකම හෝ වැඩි කළ යුතුය. උපකල්පනය කරන්න, ශ්‍රමයේ ආන්තික නිෂ්පාදනය වැඩි නොකර වැටුප් වැඩිවේ යැයි. එවිට සමීකරණය සමතුලිත කිරීම සඳහා මිල දර්ශකය වැඩි විය යුතුය. මේ අනුව, ශ්‍රමයේ ආන්තික නිෂ්පාදනය වැඩි නොකර වැටුප් වැඩි කිරීම උද්ධමනය – මිල දර්ශකයේ වැඩි වීමකට හේතු වේ. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල වඩාත් වැදගත් පොදු ලක්ෂණය වන්නේ වැටුප් වැඩිවීම “අයිතියක්” ලෙස සැලකීම සහ ජීවන වියදමට සම්බන්ධ කිරීමයි. ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට වෘත්තීය සමිති දරන උත්සාහයන් නැති තරම්ය. අවසානයේදී, ශ්‍රමයේ ආන්තික නිෂ්පාදනය වැඩි දියුණු නොකර ඉහළ වැටුප් ලබා දෙන සෑම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්ම උද්ධමනයට හේතු වන අතර සහ කම්කරුවන්ගේ මුර්ථ ආදායම අඩු කරයි.

මෙම වැටුප් මත පදනම් වූ  උද්ධමනයේ බලපෑම් මොනවාද? පළමුව, වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වූවන්ගේ මුර්ථ ආදායම් සහ පරිභෝජන ප්‍රතිලාභ කෙටි කාලයක් තුළ අතුරුදහන් වනු ඇත. මේ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණි. දෙවනුව, ඉතිරි කම්කරුවන්ට උද්ධමනයේ පීඩනය දැනෙනු ඇත, සහ ඔවුන්ට ලැබෙන සාපේක්ෂව අඩු වැටුප් , සහ ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග ද ආරම්භ කරනු ඇත. උදාහරනයක් ලෙස , වෛද්‍යවරුන්ගේ  වැඩ වර්ජන වලින් පසුව බොහෝ විට හෙදියන්ගේ වැඩ වර්ජන සිදු වේ. ශ්‍රමයේ ආන්තික නිෂ්පාදනයේ වැඩි වීමක් සිදු නොවන බැවින්, තවදුරටත් උද්ධමනය විෂම චක්‍රයක් ඇති කරයි. තෙවනුව, බොහෝ රාජ්‍ය අංශයේ සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා අය වන අතර පෞද්ගලික අංශයේ සේවකයින් සහ අවිධිමත් අංශයේ සේවකයින් එකම උද්ධමනයකට මුහුණ දෙයි.  මෙම අංශවල වැටුප් ගැලපීම සඳහා කාලය ගතවන අතර මෙම ගැලපීම් සිදු වන තුරු රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම අංශවල සේවකයන් සුබසාධන අලාභවලට ලක් වේ. සිව්වෙනුව , ස්ථාවර ආදායමක් ඇති විශ්‍රාමිකයෝ ඉහළ මිල ගණන් වලින් පීඩා විඳිති. මේ අනුව වැටුප් වැඩිවීම ශ්‍රම  ඵලදායිතාවයේ සාපේක්ෂ වැඩිවීමක් සමඟ සම්බන්ධ නොවන්නේ නම්, සමස්ත ආර්ථිකයම  සාමූහික කේවල් කිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ඇතිවූ  වැටුප් වැඩිවීමෙන් පීඩා විඳියි.

ශ්‍රමයේ ඵලදායිතාව සමඟ වැටුප් නොගැලපෙන අවස්ථා තිබිය හැකිය. උදාහරණයක් ලෙස තේ , වතුකරයේ කම්කරුවන්ට ශ්‍රම ඵලදායිතාව සහ නිමැවුම් මිල මත ලැබිය යුතු ප්‍රමාණයට වඩා අඩු මුදලක් ගෙවනවා විය හැකිය. එවැනි තත්ත්වයන් වැටුප් වැඩිවීම සාධාරණීකරණය කරයි. කෙසේ වෙතත්, ඉල්ලීම් සාධාරණීකරණය කිරීම සඳහා කේවල් කිරීමේදී ඇස්තමේන්තුගත ආන්තික ඵලදායිතාවන් භාවිතා කළ යුතුය.

අයිතිවාසිකම් වලට එදිරිව වගකීම්

වසර 35කට වැඩි මගේ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට අදාළව ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයින් විසින් සැකසනලද  ලිඛිත කරුණු කිසිවක් මා අසා හෝ දැක නැත. ශ්‍රම ඵලදායිතාවයේ වැදගත්කම මගේ මනසේ පැලපදියම් වූයේ මා උපාධි අපේක්ෂකයෙකු ලෙස එක්සත් ජනපදයේ සිටියදීය. 1996 දී බෝයිං සමාගමේ කළමනාකාරීත්වය සමඟ වෘත්තීය සමිති නායකයින් කරන සාකච්ඡාවකට මම අහම්බෙන් සවන් දුන්නෙමි. බෝයිං සමාගමේ ප්‍රධාන ඒකකයක් වන බෝයිං වාණිජ ගුවන් යානා බොහෝ ආකාරවලින් කැපී පෙනෙන ඇමරිකානු සාර්ථකත්වයේ කතාවකි. විසිවන ශතවර්ෂයේ වැඩි කාලයක් එහි නම වාණිජ ගුවන් ගමන්වල පුරෝගාමී දියුණුවට සමාන විය. ශතවර්ෂයේ අවසානය වන විට එය වඩාත් අවිනිශ්චිත හා වේගයෙන් වෙනස් වන තරඟකාරී පරිසරයකට මුහුණ දුන්නේය.  ලෝකයේ විශිෂ්ට සමාගමක් ලෙස එහි කීර්ති නාමය පවත්වා ගැනීමට බෝයිං සමාගමට දැඩි අරගලයක් කිරීමට සිදු විය. එය කළමනාකරණ උපාය මාර්ග වෙනස් කළේය, තාක්ෂණික වෙනස්කම් හඳුන්වා දුන්නේය, පුළුල් බහිර්සේවාර්ථනය සහ පුළුල් ගෝලීය හවුල්කාරිත්වයන් එක් කළේය. එය දැවැන්ත සේවක කප්පාදුව සහ  වැඩ කිරීමේ ක්‍රම දැඩි ලෙස වෙනස් කිරීම හරහා ද සිදු විය. මෙම වෙනස්කම් සේවකයන්ගේ  සහ කළමනාකරුවන්ගේ ජීවිතවල ආතතිය හා කැළඹීම් ඇති කළේය[1].

වෘත්තීය සමිති නායකයින් ඉහත සඳහන් කළ සාකච්ඡාවේදී ඵලදායිතාව වැඩිවීම, එවැනි වැඩිවීමක් සමඟ සම්බන්ධ ලාභය පෙන්නුම් කල අතර වැටුප් වැඩිවීම ලෙස ඉල්ලා සිටියේ වැඩිවන ලාභයෙන් ප්‍රතිශතයක් පමණි. ඔවුන් ඵලදායිතාවය වැඩි කිරීමේ මිනුම ලෙස පෙන්වා දුන්නේ ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රම දින අඩු කිරීමය. සාකච්ඡා පැවැත්වුණේ ප්‍රධාන වශයෙන්ම වැටුප් වැඩිවීමක් ලෙස සේවකයන්ට ලබාදිය යුතු ලාභයේ ප්‍රතිශතය  පිළිබඳවයි. වෘත්තීය සමිති නායකයින් විසින් ප්‍රාග්ධනයේ  කාර්යභාරය සහ සමාගමේ බංකොලොත් භාවය වළක්වා ගැනීම  හඳුනා ගැනීම ගැන මම බෙහෙවින් පැහැදුණෙමි. ඔවුන් අනුගමනය කළ සමතුලිත මාර්ගය කම්කරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම දහස් ගණනක සේවකයන්ගේ ජීවනෝපාය මාර්ගයක් ලෙස සමාගම පවත්වාගෙන යාමේ වැදගත්කම සලකා බැලීය.  වෘත්තීය සමිති නායකයින් සාකච්ජාව හසුරුවන වගකීම් සහගත ආකාරය මගේ සිතේ සටහන් වු අතර එතැන් සිට ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව මම දැඩි අවධානයෙන් සිටියෙමි. වෘත්තීය සමිති නායකයන් කේවල් කිරීමේ මෙවලමක් ලෙස ඵලදායිතාව ඉහළ නැංවීමක් පෙන්නුම් කළ හෝ ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමට කිසිදු උත්සාහයක් දැරූ එක් අවස්ථාවක්වත් සොයා ගැනීමට මට නොහැකි විය. මගේ දැනුමට අනුව, වෘත්තීය සමිති තමන් වැඩ කරන ආයතනවල කාර්යක්ෂමතාව, පිරිවැය අඩු කිරීම සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව කම්කරුවන් දැනුවත් කිරීම සඳහා කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නොමැත.

මෙම වෙනසට හේතුව කුමක්ද? එය අපේ සංස්කෘතියද? කම්කරුවන්ගේ සහ වෘත්තීය සමිති නායකයින්ගේ සිත් තුළ මුල් බැසගත් සමාජවාදී චින්තනයද ? දුප්පත් ආර්ථික සාක්ෂරතාවද ? ව්‍යාපාර විරෝධී හැඟීම්ද ? මේවායේ එකතුවක් සහ ආර්ථිකයේ විවිධ අංශවල පවතින  බල ව්‍යුහය, සමහර විට වෘත්තීය සමිති අයිතිවාසිකම් කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නේ ඇයිද යන්න සහ තිරසාර සැබෑ ආදායම වැඩි කර ගැනීම සඳහා ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීමේ වගකීම නොසලකා හැරීමට හේතුව ලෙස  පැහැදිලි කළ හැකිය. වෘත්තීය සමිතියක කේවල් කිරීමේ බලය ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ සේවයේ ස්වභාවය අනුව ය. වෛද්‍යවරුන්, ලංවිම ඉංජිනේරුවන්, විශ්ව විද්‍යාල ගුරුවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය අංශ සේවකයන්, දුම්රිය එන්ජින් රියදුරන් ඉහළ කේවල් කිරීමේ හැකියාවක් ඇති සමහර සේවක අංශ වලට උදාහරණ වේ. මෙම වෘත්තීය සමිතිවල ඉල්ලීම් සාමාන්‍යයෙන් ඉටු වන බවත් සුළු උත්සාහයකින් මෙම ක්ෂේත්‍රවල සේවකයින්ට ඉහළ වැටුප් ලැබෙන බවත් ඉක්මන් සමාලෝචනයකින් හෙළි වනු ඇත. එක් අතකින් ඔවුන්ට ටික කලකට පසු, ඔවුන්ගේ ආදායමේ සැබෑ වැඩිවීමක් නැති බව දැනෙනු ඇත. කලින් පැහැදිලි කළ පරිදි, වැඩි කළ වැටුප් ගෙවීම සඳහා ඉහළ බදුවලින් මෙන්ම ඉහළ උද්ධමනයකින්  ආර්ථිකයේ සෙසු කොටස් පීඩා විඳිති. පාසල් ගුරුවරුන්, ගොවීන්, අවිධිමත් අංශයේ සේවකයින් වැනි තවත් සමහර කම්කරු කාණ්ඩවලට කේවල් කිරීමේ හැකියාව අඩු බැවින් ඔවුන්ගේ සැබෑ වැටුප්/ආදායම් ඉහළ කේවල් කිරීමේ බලයක් ඇති අයට වඩා බෙහෙවින් අඩුය. මේ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාජයේ අසමානතාවයට එක් හේතුවක් වේ.

ඉදිරි දැක්ම

“මම වෘත්තීය සමිති සේවකයෙක්; එයින් අදහස් කරන්නේ මම මගේ ප්‍රතිලාභ සඳහා පමණක් නොව, සෑම කෙනෙකුගේම ප්‍රතිලාභ සඳහා සටන් කරන සංවිධානයක කොටසක් බවයි”-ෂෙලා හොග්ල්

මෙම අසමාන කේවල් කිරීමේ බලය මෙන්ම ශ්‍රම ඵලදායිතාවය මුලුමනින්ම නොසලකන  “අයිතිය මත පදනම් වූ” චින්තනය අවසානයේ ක්‍රීඩා න්‍යාය තුළ “සිරකරුවන්ගේ උභතෝකෝටිකයට ” සමාන සමාජීය වශයෙන් නුසුදුසු ප්‍රතිඵල ඇති කරයි. සිරකරුවාගේ උභතෝකෝටික ක්‍රීඩාවෙන් විස්තර කරන්නේ, ක්‍රීඩකයන් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කිරීම තුලින් අවසානයේ සියල්ලන්ටම සමාජීය වශයෙන් නුසුදුසු ප්‍රතිඵලයක් ගෙන දෙන බවයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතිවල ආත්මාර්ථකාමී හැසිරීම ඔවුන් මහජනතාවගෙන් ඈත් කර ඇති අතර විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ආරක්ෂා කිරීම, ආර්ථික අර්බුදයේ බර සමානව බෙදා ගැනීම වැනි සාධාරණ හේතු සඳහා සටන් කිරීමට ඔවුන්ට ඇති හැකියාව සැලකිය යුතු ලෙස අඩු වී ඇත. වෘත්තීය සමිති නායකයින් ලෝකය පුරා හිරිහැර, නඩු සහ ඝාතනයන්ට ලක්වේ. ඔවුන්ව  සාමාන්‍යයෙන් දකින්නේ (මර්දනකාරී) ආණ්ඩු සහ සමාගම් වල සතුරන් ලෙස ය.  මර්දනකාරී ආණ්ඩු සහ එදිරි සමාගම්වලට මුහුණ දෙන විට, විශේෂයෙන්ම නීතිය හා සාමය නිසි ලෙස නොමැති විට සහ අධිකරණය සහ පොලිසිය ස්වාධීන නොවන විට මහජන සහයෝගය ඔවුන්ට ඇති හොඳම ආරක්ෂාවයි. මේ වෘත්තීය සමිති නායකයින් අන් අයගේ වියදමින් තම  කණ්ඩායම පමණක් ආරක්ෂා කර ගැනීමේ ප්‍රවේශය නැවත සලකා බැලීමට කාලයයි. ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා කම්කරුවන් ඔවුන්ගේ වගකීම් පිළිබඳව දැනුවත් කිරීම සහ ආර්ථිකයට කම්කරුවන්ගේ දායකත්වය මත පදනම්ව සාකච්ඡා සඳහා පිළිගත හැකි ප්‍රවේශයක් සමඟ සමස්ත කම්කරු පන්තිය ආරක්ෂා කිරීම සඳහා වඩාත් පුළුල්,   සහයෝගයමත පදනම් වූ  සහ සදාචාරාත්මක ප්‍රවේශයක් අනුගමනය කිරීම ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයට නව ආරම්භයක් සැපයිය හැකිය.

[1] Labor Unions at Boeing : Reflections on Our Findings in ‘Turbulence: Boeing and the Future of American Workers and Managers’ (Yale Press, 2010) and Developments Since Its Publication (zbw.eu)

 

Share now